විහාරස්ථානය පිළිබඳව කෙටි හැඳින්වීමක්

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පඬුවස්නුවර බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉහළ ගොමුගොමුව ග්‍රාමනිලධාරි වසමෙහි අක්කරයක පමණ මුඩු බිමක 2013-08-12 වන දින දහසක් අභියෝග බාධක මැද දායක පිරිස 12 දෙනෙකුගේ දායකත්වයෙන් මෙම ශ්‍රී සුධම්ම දහම් නිකේතනය ආරම්භ කරන ලදී. ඉහළ ගොමුගොමුව ග්‍රාමයේ පදිංචි ජේ. ජෝතිපාල නම් සත්ගුණවත් මැතිතුමන් විසින් මෙම විහාරස්ථානය ඉදිකිරීම සදහා භූමිභාගය පරිත්‍යාග කරන ලදී. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විහාරස්ථානයක් වන ශ්‍රී සුධම්ම දහම් නිකේතනය තුළ දායක පිරිස වර්තමානය වන විට 102ක් පමණ දායකත්වය ලබමින් කටයුතු සිදුකරන අතර එම දායක සභාව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි දායක සභාවක් වන අතර එම දායක සභාව උභය ලෝකාර්ථ දායක සභාව නමින් නම් කර ඇත. විහාරස්ථානයේ සියළුම විහාරාංග අලුතින්ම ඉදිකරමින් පවතින අතර දෙස් විදෙස් පරිත්‍යාගශීලින් එම ඉදිකිරීම් කටයුතු සදහා පරිත්‍යාග සිදුකරමින් පවතී. සියලු විහාරාංග වලින් සමන්විත විහාරස්ථානයක් සසුනට දායාද කිරීම මගේ එකම අරමුණ වන අතර පිංවත් ඔබ සියලුදෙනාගේම ආධාර පරිත්‍යාග ඒ සඳහා පුන්‍යානුමෝදනාත්මකව අපේක්ෂා කරමි.

අට මහා කුසල් වල ආනිසංස

අටමහා කුසල් යන නමින් විශේෂ පින්කම් අටක් පිළිබඳව ඉගැන්වේ.
එම අටමහා කුසල් දැක්වෙන ගාථාව මෙසේය.
“කඨිනං ච පරික්ඛාරං – වාස දානංච උත්තමං
බුද්ධප්පමුඛසංඝස්ස – දානං ධම්මස්ස ලේඛනං
ඛෙත්ත දානංච සංඝස්ස – පටිමා කරණං පි ච
කරණං වච්ච කුටියා – අට්ඨ පුඤ්ඤානි වුච්චරේ”
මෙහි දැක්වෙන අටමහා කුසල් මෙසේය.
1.කඨින සිවුරක් පූජා කිරීම
2.අටපිරිකර පූජාකිරීම
3.ආවාස ගෙයක් තනවා සඟසතුකර පූජා කිරීම
4.බුදුපාමොක් මහ සඟනට සඟ සතු කර දන්දීම.
5.බුද්ධ ධර්මය ලිවීම හා ලියවීම දහම් පොත්පත් මුද්‍රණය කරදීම බෙදා හැරීම.
6.සඟ සතු කර හෝ බුද්ධ පූජා වශයෙන් කෙත් වතු පිදීම
7.බුදු පිළිම සෑදවීම, චෛත්‍ය විහාරගෙවල් මුලසුන් ආදිය සෑදවීම
8.වැසිකිළි තනවා සඟසතු කර පිදීම.
යන මේ පිංකම් අට අටමහා කුසල් නම්වේ.
මේ පිංකම් අට අනෙක් පිංකම් වලට වඩා සුවිශේෂී වන්නේ විශේෂ හේතුවක් ඇති බැවිනි. අකුසල් සිත් යටපත් කර කුසල් සිත් උපදවා ගෙන මෙම අටමහා කුසල් කරන අයහට සසර තමා විසින් මව මැරීම ආදී පංචානන්තරීය අකුසල් සිදුකර නොමැති අයට වෙනත් යම් යම් අකුසල් දැන හෝ නොදැන කර තිබුණහොත් ඒවා තාවකාලිකව යටපත් කොට අකුසලයේ විපාකය විඳීන්නට නොදී අටමහා කුසලයක් ඉදිරිපත්වී එයින් සැප විපාක ලබාදීමට සමත් වන බව දහමෙහි දැක්වේ.

විහාරාධිපති ස්වාමින් වහන්සේ

කුලියාපිටිය කරගහගෙදර ශ්‍රී සුධර්මෝදය පිරිවෙන් විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය තාරණ විමලරතන හිමියන්ගේ ශිෂ්‍යවරයෙක් හැටියට 1993 වර්ෂයේ පැවිදි බිමට ඇතුලත් වූ මා මූලික අධ්‍යාපනය කරගහගෙදර කුලියාපිටිය ශ්‍රී සුධර්මෝදය පිරිවෙන් ආයතනයේ සිදුකළ අතර උසස් අධ්‍යාපන කටයුතු කුලියාපිටිය කනදුල්ල ශ්‍රී ධර්මරාජ මහා පිරිවෙන් ආයතනයේ සිදු කරන ලදී. ඉන් අනතුරුව කැළණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධි පාඨමාලාව හදාරා නිමවීමෙන් පසු 2008-01-01 වන දින උඩුබද්දාව විද්‍යා ප්‍රසාද පිරිවෙන් ආයතනයේ ආචාර්යවරයකු ලෙස සේවයට බැඳෙන අතර එම පිරිවෙන් ආයතනයේ සාමාන්‍ය ගුරුවරයෙක් ලෙස නියෝජ්‍ය පරිවේනාධිපති හිමි ලෙස සහ පරිවේණාධිපති හිමි ලෙස තනතුරු දරමින් ගුරුසේවයේ යෙදී කටයුතු සිදුකරමින් වැඩසිටින බව සිහිපත් කරමි.

2013 වර්ෂයේ මුඩුබිමක ශ්‍රී සුධම්ම දහම් නිකේතනය නම් විහාරස්ථානයක් අලුතින්ම ආරම්භ කොට ඉහළ ගොමුගොමුව නම් ග්‍රාමයට විහාරස්ථානයක් දායාද කොට දැනට පවත්වාගෙන යනු ලබන බවද ඉතා නිහතමානීව සිහිපත් කරමි. මෙම සියලු කටයුතු සදහා ශ්‍රමය, ධනය, කාලය කැපකල සියලුදෙනාම පුන්‍යානුමෝදනාත්මකව සිහිපත් කරමි.

කුලියාපිටිය ඉහළ ගොමුගොමුව ශ්‍රී සුධම්ම දහම් නිකේතනයේ නිර්මාතෘ, විහාරාධිපති, පරිවේණාධිපති, ප්‍රධානාචාර්ය, ධර්මාදීශ්වර ශාසන කීර්ති ශ්‍රී විනයාලංකාර පූජ්‍ය ශාස්ත්‍රවේදී අකරවත්තේ සුධම්ම හිමි.

විහාරස්ථානයට නොමිළයේ වෙබ් අඩවියක් නිර්මාණය කිරීම සඳහා විහාරස්ථානය නිරීක්ෂණය කිරීම

සමාජසත්කාර පදනමේ අධ්‍යක්ෂ දේශමාන්‍ය ධනේෂ් එදිරිසුරිය මහතා 2023-05-12 දින ගොමුගොමුව  ශ්‍රී සුධම්ම දහම් නිකේතනයේ විහාරාධිපති  ස්වාමින්වහන්සේ වන පුජ්‍ය අකරවත්තේ සුධම්ම  ස්වාමීන් වහන්සේ මුණගැසී “පුණ්‍ය භූමි” පන්සලට වෙබ් අඩවියක් ව්‍යාපෘතිය පිලිබඳ සාකච්ඡා කිරීම සිදුකරනු ලැබුවා.