by ධනේෂ් එදිරිසුරිය (අධ්යක්ෂ - පුණ්‍ය භූමි ව්‍යාපෘතිය) | Jun 11, 2023 | පුරා විද්‍යා
පිවිසෙන ගමන් මාර්ගය නිකවැරටිය හෙට්ටිපොළ මාර්ගයේ කොබෙයිගනේ නගරයේ බස් නැවතුම් පළ අසලින් දකුණට ඇති මාර්ගයේ මීටර් 200ක් පමණ ගිය විට විහාරස්ථානය හමුවේ .
ග්‍රාමනිලධාරි වසම :- 1301,කොබෙයිගනේ
පුරාවිද්‍යාත්මක තොරතුරු :- ක්‍රි . ව. 1840 ගණන් වලට ඉහත නිර්මිත ටැම්පිට විහාරයක් යැයි සැලකේ . එකල වල් බිහි වී විනාශ වී ගොස් තිබී ඇති අතර , පසු කාලීනව නැවත එළිපෙහෙළි කර පුදපූජා පවත්වමින් රැකගෙන පැමිණ ඇත. මෙම ටැම්පිට විහාරය ගල් කණු 18 ක් මත ඉදිකර තිබූ බවට නටඹුන් පවතින අතර , ගල් කණු මුදුනෙහි ශේෂව පවතින ලී කැටයම් ද දක්නට ලැබේ . විහාර ගෙයි නටඹුන් කිසිවක් දක්නට නොමැති අතර , පවතින නටඹුන් විනාශ වීම වළක්වනු වස් ආවරණ ගොඩනැගිල්ලක් ඉදිකර ඇත. මීට අමතරව පුරාණ පුස්කොළ පොත් 15 ක් පමණ ආරක්ෂිතව පවතී . මේවායේ සූත්‍ර පිටකය වැනි ධර්ම කරුණු අන්තර්ගත බව විහාරාධිපති අතිපූජ්‍ය තෙළඹු ගම්මන චන්දානන්ද ස්වාමීන් වහන්සේ පවසයි . තවද අඩි 3ක් පමණ උසින් යුත් ලෝකඩ බුදුපිලිමයක් සහ උස අඩි 10 ක් හා පළල අඩි 14 ක් පමණ වූ පැරණි කොඩියක් ද ඇත. මේවා කුමන කාලයක නිර්මිත වූවාද යන්න නිශ්චිතව සදහන් කිරීමට සාක්ෂි නොමැත . කොඩියෙහි විහාර සිතුවම් හා හින්දු ආභාෂය ලැබූ සිතුවම් දක්නට ලැබේ . ජනප්‍රවාදයේ එන පරිදි මෙම කොඩිය ජනතාවගේ අපල හා වැසිඵල නොමැති කාලයේ ඔසවා පුදපූජා කල බවත් මෙය ඉන්දියාවේ සිට පැමිණි හින්දු බ්‍රාහ්මණයෙකුගෙන් පැවත ගෙන ආ සිරිතක් බවත් විහාරාධිපති ස්වාමීන් වහන්සේ පවසයි . මීට අමතරව පුරා විද්‍යා වටිනාකමකින් යුත් කිසිවක් හමු නොවේ. ශේෂව පවතින කිසිවක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සංරක්ෂණය කර නොමැත .
වෙබ් අඩවියට ප්‍රවේශ වන්න
by ධනේෂ් එදිරිසුරිය (අධ්යක්ෂ - පුණ්‍ය භූමි ව්‍යාපෘතිය) | Jun 11, 2023 | පුරා විද්‍යා
පිවිසෙන මාර්ගය :- නිකවැරටිය කුලියාපිටිය මාර්ගයේ යකඩපත මංසන්ධියෙන් හැරී තෙලහැර මාර්ගයේ සැතැපුම් 05 ක් පමණ ගියවිට ප්‍රධාන මාර්ගය අසල මෙම විහාරස්ථානය පිහිටා ඇත .
ග්‍රාමනිලධාරි වසම :- 1315, මාකෙලියාව
පිහිටීම :- අක්කර 2 ක් පමණ වූ තැනිතලා භූමි ප්‍රදේශයකින් සමන්විත විහාරස්ථාන ඉඩම පොල් වගාවකින් යුක්ත භූමියකි.
පුරා විද්‍යාත්මක තොරතුරු
නිකවැරටිය , බුදුමුත්තාව රජමහා විහාරයට සමකාලීන විහාරස්ථානයක් බව පැවසේ . පුරා විද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථානයක් බව ඔප්පු කරන සාක්ෂි මෙම විහාරස්ථාන භූමියේ ඇතත් ඒ සම්බන්ධව ඓතිහාසික තොරතුරු දන්නා කිසිවෙකු මේ ප්‍රදේශයේ නැත. ලියැවුණු පොත්පත් ද තිබේදැයි සැක සහිතය .
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මෙම විහාරභූමියේ පිහිටි පැරණි දාගැබ් යැයි විශ්වාස කරන ස්ථානය කැනීම් කර ප්‍රථිසංස්කරණය කර ඇත . ප්‍රථිසංස්කරණය කළ ස්ථානය පහත සදහන් පරිදි නිර්මිතය.
දිගින් මීටර් 11.30 ක් වූ සමචතුරස්‍රාකාර ගඩොල් බැම්මක් මැද පළල මීටර් 1.30 ක් වූ වැලි තීරුවකි. ඒ මැද දිග හා පළල මිටර් 07 සෙන්ටිමීටර් 77 ක් වූ සමචතුරස්‍රාකාර ගඩොල් ඇතුරුමකි. ඒ මැද කවාකාර ලෙසින් ගඩොල් වරී 08 කින් සකස් කර ඇති නටඹුන්ය. ඒ මත සකස් නොකළ දිග , පළල මීටර් 1.55 ක් හා 1.25 ක් වූ ගල් පුවරුවකි. මෙම ස්ථානය කුමක්ද යන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ද හදුනාගෙන නැති අතර බෝධිඝරයක් ලෙස විශ්වාසයක් පවතී.
මෙම ස්මාරකයට නිරිත දිශාවෙන් මීටර් 42 ක් පමණ දුරින් දිග හා පළල මීටර් 19×10 ක් වූ ගොඩනැගිල්ලකි. එහි පැරණි වළං කැබලි සුළු වශයෙන් දක්නට ඇත .
එසේම කැණීම් කළ ස්ථානයට මීටර් 10 ක් පමණ වයඹ දෙසින් දිග, පළල හා උස පිළිවෙලින් මීටර් 0.35 × 0.20 ×1.80 පමණ වන බිම පතිත වී ඇති සකස් නොකළ ගල් කණුවක් ඇත.
වෙබ් අඩවියට ප්‍රවේශ වන්න
by ධනේෂ් එදිරිසුරිය (අධ්යක්ෂ - පුණ්‍ය භූමි ව්‍යාපෘතිය) | Jun 11, 2023 | පුරා විද්‍යා
පිවිසෙන ගමන්මාරගය :- නිකවැරටිය හෙට්ටිපොළ මාර්ගයේ නිකවැරටිය සිට හෙට්ටිපොළට පැමිණෙන විට විතිකුලිය මංසන්ධිය හමුවේ . විතිකුලියේ සිට සැතැපුම් 03 ක් පමණ ප්‍රධාන පාරේ එන විට යකඩපත මංසන්ධියට පැමිණේ , යකඩපත හන්දියෙන් තෙලහැර පාරේ සැතැපුම් 07 ක් පමණ යන විට මෙම විහාරස්ථානය හමුවේ.
ග්‍රාමනිලධාරි වසම :- 1315, මාකෙළියාව .
පුරා විද්‍යාත්මක තොරතුරු .
මෙම විහාරභූමිය අක්කර 05 ක් පමණ වන අතර අතීතයේ මෙම ස්ථානය හා සම්බන්ධව ඊට වැඩි විශාල භූමියක් පැවතුන බව විශ්වාස කෙරේ .
විහාරභූමිය පුරා ඉතා පැරණි නා ගස් සහිත විශාල නා කැළයක් පවතී. එම කැළය තුළ හා ඒ අවට පැරණි පොකුණු 07 ක් පවතින බව ගැමියෝ පවසති . විශාල නා කැළය තුල එම පොකුණු සොයා ගැනීම දුෂ්කරය. විහාරභූමියට අයත්ව පැවති ඉඩම් ගැමියන් විසින් අත්පත් කරගෙන ඇති අතර එම පෞද්ගලික ඉඩම් පුරාද මෙම පොකුණු පැතිරී තිබෙන බව ගැමියෝ පවසතී. තවත් පොකුණු ගොඩවෙමින් පවතී . විහාරභූමිය තුළ ඉතා පැරණි චෛත්‍යයක නටඹුන් ඇති මෙහි ගඩොල් 12 වන සියවසට අයත් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ මතයයි. ඒ අනුව මෙම ස්ථානය අනුරාධපුර යුගයට අයත් වේ . දැදුරු ඔය දෙපස පිහිටි මෙවන් ඓතිහාසික ස්ථාන වල මූලාරම්භය අනුරාධපුර යුගය බව පුරා විද්‍යා නිලධාරින්ගේ නිගමනය වේ.
මෙම නා කැළේ ආරණ්‍යයේ විශාල වශයෙන් ගල් කණු දැකිය් හැකිය. පසුගිය කාලයේ එම භූම්යේ සිදුවූ අනවසර කැණීම් හේතුවෙන් සැගවී තිබූ ගොඩනැගිල්ලක පදනම හා ගල් කණු රාශියක් මතු වී ඇත .
වෙබ් අඩවියට ප්‍රවේශ වන්න
by ධනේෂ් එදිරිසුරිය (අධ්යක්ෂ - පුණ්‍ය භූමි ව්‍යාපෘතිය) | Jun 11, 2023 | පුරා විද්‍යා
ගමන්මාර්ගය :- කොබෙයිගනේ හෙට්ටිපොළ මාර්ගයේ කොබෙයිගනේ නගරයෙන් පටන් ගන්නා කොබෙයිගනේ පාදෙණිය මාර්ගයේ සැතපුම් 2 1/2 ක් පමණ යන විට හමුවන බම්මන්නේගම පාදෙණිය හමුවේ . එතැනින් වමට ඇති ගුරු පාරේ සැතපුම් 1 1/2 ක් පමණ යන විට විහාරස්ථානය හමුවේ .
ග්‍රාමනිලධාරි වසම :- 1302, හිරිගොල්ල.
පුරාවිද්‍යා තොරතුරු :-
උස්ගල ශ්‍රී ස්වර්ණ භිම්හාරාම රජමහා විහාරස්ථානය කොබෙයිගනේ ප්‍රා. ලේ කොට්ඨාසයේ ඇති පුරාවිද්‍යාත්මක වැදගත්කම අතින් ඉතා වටිනා සිද්ධස්ථානයකි.
මහනුවර යුගයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ කාලයේදී මෙම විහාරය ඉදිකරන්නට ඇති බව ජනප්‍රවාදයේ පවතී. එම යුගයේ විහාරස්ථානයක් පමණක් නොව විද්‍යා ආයතනයක් වශයෙන්ද ඉහළම ප්‍රසිද්ධියට පත් ආයතනයක් ව පැවතුනි. එහි ගිහි පැවිදි දෙපාර්ශවයම ශිල්ප ලබාගත් ස්ථානයක් බව ඉතිහාස ගත වී ඇත .
විහාරයට පිවිසෙන පිය ගැටපෙළ පාමුල කුඩුම්බි ගල් පිහිටා ඇත . පොළොව මට්ටමේ සිට අඩි 30 ක් පමණ උසින් පිහිටි ගල් තලාවක් මත ටැම්පිට විහාරය පිහිටා තිබේ. මහනුවර යුගයේ මූර්ති ශිල්පීන්ගේ දක්ෂතාවයන් පිළිඹිබු වන සේ නිමවා ඇති සමාධි බුදුපිලිම වහන්සේ දෙපස අඩි 08 ක් පමණ උස හිටි පිළිම වහන්සේ දෙනමක්ද නිර්මාණය කර ඇත. විහාරයේ බිත්ති හා වටමාලයේ බිත්ති අඩි 02 ක් පමණ ඝනකමින් යුක්තය . තාප්ප බිත්ති ක්‍රමයට මේවා නිමවා ඇත .
විහාර මන්දිරයේ පළමුවන කොටසට ඇතුලුවන ප්‍රධාන දොරටුව ඉහළින් පැරණි විශිෂ්ට කළා කුසලතාවයන් පිළිඹිබු කරන මකර තොරණකි. විහාරස්ථානයේ දෙවන මාළයේ උඩ කොටස සම්පූර්ණයෙන්ම සිංහ රූප කළාවකි . ඊට අමතරව භහිරව රූප , නාගරූප හා වාමන රූප වලින් අලංකෘතය . විහාරගෙයි පිහිටි ගලෙන් කොටා ඇති අඩි 05 ක් පමණදිග පළලින් යුත් සිරිපතුල් සටහනක්ද ඇත . විහාරගෙයි උළුවහු ජනෙල් සාදා ඇත්තේ පැරණි රාජකීය මන්දීරවල මෙනි. ප්‍රධාන උළුවස්ස අඩි 12 ක් පමණ උස වන අතර උළුවහු කද අඩියක් පමණ පළලය . දොරපියන් දෙක තනි ලෑල්ලෙන් සාදා ඇත .
මෙම විහාරගෙයි වහළය පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් ප්‍රථිසංස්කරණය කර ඇතත් මේවන විට බිතුසිතුවම් ද විනාශ මුඛයට පැමිණ ඇත.
වෙබ් අඩවියට ප්‍රවේශ වන්න
by ධනේෂ් එදිරිසුරිය (අධ්යක්ෂ - පුණ්‍ය භූමි ව්‍යාපෘතිය) | Jun 11, 2023 | පුරා විද්‍යා
දැදුරු ඔය අසල පිහිටි බොර එබ මාකෙලියාව වසමේ පිහිටා ඇත. එම බොර එබ තුළ අතීතයේ අලින් ලැගුම්ගෙන ඇත. මොවුන් අයියනායක දෙවියන්ගේ හා කිතගම හිටිබණ්ඩාර දෙවියන්ගේ අලින් ලෙස විශ්වාස කරයි. බුදු මුත්තාව රජමහා විහාරයේ සිට මෙම බොර එබ හරහා භික්ෂූන් වහන්සේලා මෙම විහාරස්ථානයට වැඩම කර ඇති බවද ජනප්‍රවාදයේ එන මතයකි.
ශ්‍රී වර්ධනාරාමය – අමුණුකොලේ, කොබෙයිගනේ .
පිවිසෙන ගමන් මාර්ගය :- කොබෙයිගනේ නගරයේ සිට නිකවැරටිය දෙසට සැතැපුම් 03 ක් පමණ යන විට ශ්‍රී වර්ධනාරාමය අමුණුකොලේ ලෙස සදහන් වී ඇති නාම පුවරුව අසලින් වමට ඇති මාර්ගයේ සැතපුම් 01 ක් පමණ යන විට විහාරස්ථානය හමු වේ.
ග්‍රාමනිලධාරි වසම :- 1307, අමුණුකොලේ .
පුරා විද්‍යාත්මක තොරතුරු
මෙම විහාරස්ථානය නුවර යුගයේ ටැම්පිට විහාරස්ථානයක් බව විශ්වාස කරයි. ශෛලමය කණු 09 කින් සැදුම්ලත් මෙම ටැම්පිට විහාරස්ථානයේ එක් කණුවක උස අඩි. 1.3 ක් පමණ වේ. ප්‍රදක්ෂිණ පථයකින් සමන්විත මෙම විහාර ගර්භය තුළ සමාධි පිළිමය භූමි ස්පර්ශ මුද්‍රාවෙන් මූර්තිමත් කර ඇති අතර දෙපසින් අගසව් දෙනම මූර්තිමත් කර ඇත. බුදු හිමියන් පිඩුසිගා වදින ආකාරය හා රාහුල කුමරු පිටුපසින් දායාද ඉල්ලමින් යන ආකාරය ඉදිරිපසින් සුද්ධෝථන රජු එය නරඹමින් සිටින අයුරු මූර්තිමත් කර ඇත.වියන් සිතුවම නෙලුම් මල් වලින් යුක්ත අතර භික්ෂූන් වහන්සේලා පිඩුසිගා වඩින ආකාරයද චිත්‍රයට නගා ඇත. දොරටුව අභියස දොරටුපාල රූප සිතුවම් කර ඇත.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් 2005 වසරේදී සංරක්ෂණය කර ඇත .
වෙබ් අඩවියට ප්‍රවේශ වන්න
by ධනේෂ් එදිරිසුරිය (අධ්යක්ෂ - පුණ්‍ය භූමි ව්‍යාපෘතිය) | Jun 11, 2023 | පුරා විද්‍යා
පිවිසෙන ගමන්මාර්ගය :- හෙට්ටිපොළ නිකවැරටිය ගමන්මාරගයේ කොබෙයිගනේ නගරය පසුකර හෙට්ටිපොළ දෙසට යන විට බලදොර හන්දියෙන් ඇතු ගුරු පාර දිගේ සැතපුම් 03 ක් පමණ යන විට විහාරස්ථානය හමුවේ.
ග්‍රාමනිලධාරි වසම :- 1208 බලදොර
පුරා විද්‍යාත්මක තොරතුරු :- නුවර යුගයට අයත් මෙම ටැම්පිට විහාරස්ථානය ශෛලමය කණු 20 ක් යොදා නිර්මාණය කර ඇත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂිත විහාරස්ථානයේ බිත්ති පහත් වීමේ අවධානම් බව නිසා ලී කණු 08 ක් යොදා ඇත . මහල් 02 කට සිටින සේ වහලය නිර්මාණය කර තිබේ. ගොඩනැගිල්ලෙහි දිග අඩි 27 1/2 ක් සහ පළල අඩි 21 ක් පමණ වේ. එක් කණුවක උස අඩි 6 1/2 ක් පමණ වන අතර විට කණු අතර පරතරය අඩි 4 1/2 ක් වේ. විහාරගෙය අසල අඩි 4×4 වන සිරිපතුල් ගලක් හා ගල් පහනක් දැකිය හැකිය. 2003 වර්ෂයේ විහාරගෙට සිදුවන ස්වාභාවික හානිය අවම කිරීම සදහා පතුල ගල් අතුරා අළු හුණු පිරිමැද ඇත. පරණ අගු වහලය ගලවා ප්‍රථිසංස්කරණය කර ඇත. බිතුසිතුවම් තවමත් පැහැදිලිව දැකගත හැකි අතර , සමහර සිතුවම් විනාශ වෙමින් පවතී . පැරණි සිතුවම් වලට හානියක් නොවන අයුරින් නව ප්‍රථිසංස්කරණ කටයුතු මධ්‍යම සංස්කෘතික අරමුදලින් ආරම්භ කර ඇත. මෙම බිතුසිතුවම් නුවර යුගයට අයත් වන අතර , වෙස්සන්තර ජාතකය හා සූවිසි බුදුවරුන්ගේ සිතුවම් දක්නට ලැබේ. දොරටුව ඉතා අලංකාර මකර තොරණකින් නිමවා ඇති අතර දෙපස ඉර , හද සිතුවම් කර ඇත. මෙම සිතුවම් අදටත් ඉතා හොදින් දැකගත හැකිය .
විහාරභූමියේ ඉතා පැරණි කාලයේ සිට දේවාලයක් පවත්වාගෙන ආ නමුත් එම ගොඩනැගිල්ල දැනට දැකිය නොහැකිය . ඒ වෙනුවෙන් නව ගොඩනැගිල්ලක් ඉදිකර ඇත. වසර 200 කට වඩා පැරණි බෝධියක් හා නා ගසක් පුරාවිද්‍යා නටඹුන් අතර වේ. චෛත්‍යය හා අනිකුත් ඉදිකිරීම් මෑත කාලීන ඉදිකිරීම් වේ.
වෙබ් අඩවියට ප්‍රවේශ වන්න