loader image
Select Page

බුදු දහමේ මූලික සංකල්පයක් වන කර්මය පිළිබඳ ඉතා පැහැදිලි විවරණයක් මේ ලිපිය මගින් දැක්වේ.
.
කර්මය නම් චර්යාව පිළිබඳ හේතු-ප්‍රත්‍ය නියාමය යි. එහි සමගාමි සංකල්පය පුනර්භවය යි. කර්මය හා පුනර්භවය බුදු දහමේ මූලික ඉගැන්වීම් වශයෙන් එකිනෙක හා බැඳී පවතියි. බුදු රජාණන් වහන්සේ පහළ වීමට පෙර ද මේ ඉගැන්වීම් භාරතයේ පැවතිණි. එතකුදු වුවත්, අද අප හමුවේ පවත්නා ස්වරූපයෙන් පරිපූර්ණ ව විවරණය කළේත්, සකසා ඉදිරිපත් කළේත්, තථාගතයන් වහන්සේ විසිනි.

මිනිසුන් අතර දක්නා ලැබෙන අසමානත්වයට, විවිධතාවට හේතුව කවරේ ද? මේ විෂම ලෝකයේ පවත්නා අසමාන-අසාධාරණ තත්ත්වයට අප හේතු දක්වන්නේ කෙසේ ද? සමහරුන් අන්ත දුගී-දුප්පත් බවෙහි ගිලී අනන්ත දුක් විඳිද්දී, සමහරුන් විශිෂ්ට මානසික, සදාචාරමය හා කායික ලක්‍ෂණ ඇති ව ඉහළ ම සුඛෝපභෝගි ආකාරයෙන් ජීවත් වන්නේ ඇයි? යමකු මහමඟ හිඟාකන්නටත්, තව කෙනකු මහා ධන කුවේරයකු ලෙස උපදින්නටත් හේතුව කුමක් ද? කෙනකු සාධු ගුණයන්ගෙන් පරිපුෂ්ටවත්, තව කෙනකු අපරාධකාරී පාපිෂ්ඨ ලක්‍ෂණ ඇතිවත් උපදින්නේ ඇයි? සමහරුන් උපතින් ම භාෂා විශාරදයන්, කලාකරුවන්, ගණිතඥයන් හා සංගීතඥයන් වන්නේ කෙසේ ද? තවත් සමහරු උපතින් ම අඳ, ගොළු හෝ බිහිරි ව විකලාංග ඇති ව උපදින්නට හේතුව කිම? සමහරුන් උපතින් ම භාග්‍ය සම්පන්න වත් දී, සමහරුන් සාප ලද්දන් වන්නට කරුණු මොනවා ද?

මේ අසාධාරණයට එක්කෝ හේතුවක් තිබිය යුතු ය; නැත් නම් නැති විය යුතු ය. හේතුවක් නැත් නම් මේ විෂමතා අහේතුක ව, ඉබේ ම සිදු වන ඒවා ය. නුවණක් ඇති කිසිවකු මේවා හුදෙක් ඉබේ සිදු වන අහඹු දේ වශයෙන් නොපිළිගනු නියත ය.

මෙලොව කිසිවකුට, කවර ම හෝ හේතුවක් නිසා ඔහුට සිදු විය යුතු දෙයක් මිස වෙන යමක් සිදු වන්නේ නැත. එහෙත් සාමාන්‍යයෙන් නියම හේතුව හෝ හේතු පෘථග්ජනයන්ට තේරුම් ගැනීම පහසු නැත. ඇසට පෙනෙන ප්‍රතිඵලවල නියම අදිසි හේතුව මේ භවය ම සීමිත වූවක් නොවන්නට ඉඩ තිබේ. එය මෑත හෝ ඈත පෙර භවයකට සම්බන්ධ වූවක් විය හැකි ය. ඒ දැනගත හැක්කේ පෙර ආත්ම දැනගැනීමේ හා සත්ත්වයන්ගේ ආසයානුසය දැනගැනීමේ, චුති-උත්පත්ති දැනගැනීමේ උසස් අභිඤ්ඤා මගිනි. මනස දියුණු කළ අභිඤ්ඤාලාභීන්ට එසේ දැකගැනීමේ ශක්තිය තිබෙන බව බුදු දහම ප්‍රකාශ කර සිටියි.

මිනිසුන් අතර බොහෝ දෙනා මෙම මානව විෂමතාවට හේතුව මැවුම්කාර දෙව් කෙනකුගේ කැමැත්ත බව කියා සිටිති. සර්වබලධාරි උතුමකු වශයෙන් හෝ අහේතුක වූ විශ්ව ශක්තියක් ලෙස පවතින නිර්මාතෘ දෙවි කෙනකු පිළිබඳ විශ්වාසය බුදු රජාණන් වහන්සේ මුළුමනින් ම බැහැර කරති.

මෙම විෂමතාව පිළිබඳ ව නවීන විද්‍යාඥයන් දරන මතය කුමක් ද? ඉඳුරන් මගින් ලබන දැනුමට ම සීමා වන ඔවුහු එය භෞතික-රසායනික හේතු මත, ආරය හා පරිසරය මත සිදු වන බව කියා සිටිති. සුප්‍රකට ජීව විද්‍යාඥයකු වූ ජූලියන් හක්ස්ලි මෙසේ ලියා ඇත:

“සමහර ජාන වර්ණය නිශ්චය කරයි. තවත් සමහරක් උස හා බර ද සවි බල හෝ දුබලකම ද, හැඩ-රුව හා පරිමාව ද නිශ්චය කරයි. සමහර විට සියලු හෝ නියතයෙන් ම බොහෝ ප්‍රවේණි ලක්‍ෂණ ජාන මගින් ම තීරණ වෙයි. මානසික ලක්‍ෂණ සම්බන්ධයෙන් – විශේෂයෙන් ම සංකීර්ණ හා සූක්‍ෂ්ම ලක්ෂණ සම්බන්ධයෙන් සහතික ව ම එසේ කීම අපහසු වුව ද, ඒවා ආරයෙන් ම ලැබෙතැ යි කීමට බොහෝ සාධක තිබේ. කායික කරුණුවලින් පිට වෙනත් කිසියම් ක්‍රමයකින් ඒවා උරුම වෙතැ යි කීමට සාධකයක් නැත. අප විසින් උරුම කරගෙන ඇති කායික විශේෂතා හා පෞරුෂ ලක්‍ෂණ සංසේචන අවස්ථාවේදී ම අප ලද ජාන නම් වූ සංයුත්ත බල කෝෂය මත ම රඳා පවතියි.”

විද්‍යාඥයන් හෙළි කරන මේ රසායනික-භෞතික සංසිද්ධීන් එක්තරා දුරකට උපකාරී වන බව පිළිගත යුතු ව ඇතත්, පුද්ගලයන් අතර පවත්නා සියලු ම සියුම් විවිධතා ඒ නිසා ම සිදු වෙතැ යි පිළිගත හැකි ද? එක විදියේ ජාන උරුම කරගත්, කායික වශයෙන් සමාන, එක සමාන පරිසරයක හැදෙන වැඩෙන සර්ව සම නිවුන් දරුවන් එකිනෙකාට වෙනස් චිත්ත වේග, බුද්ධිය හා චර්යාවන් විද්‍යමාන කරන්නේ ඇයි?

මේ සියලු වෙනස්කම් හුදෙක් ආරය හේතුවෙන් ම සිදු වෙතැ යි කීම පිළිගත නොහැකි ය. නිවැරදි ව කිව හොත් සමානකම් බොහෝ දුරට ආරය මුල් කරගෙන විස්තර කළ හැකි වුව ද, අසමානකම්, එමගින් විවරණය වන්නේ නැත.

මවුපියන් වෙතින් උරුම වන අඟලකින් කෝටි තුනෙන් එක් පංගුවක් තරම් ප්‍රමාණ වූ මෙම අතිසූක්ෂ්ම රසායනික – භෞතික අංශුව මිනිසාගේ එක් කොටසක් වූ කායික අංශය පමණක් ව්‍යාඛ්‍යානය කරයි. වඩාත් සංකීර්ණ හා සූක්ෂ්ම වූ මානසික බුද්ධිමය හා චර්යාමය විශේෂතා පිළිබඳ ව අප මීට වඩා ප්‍රබුද්ධ විය යුතු ය. දිගු සදාචාර ඉතිහාසයක් ඇති හොඳ යහපත් පරපුරක අපරාධකරුවකු ඉපදීම, පාපයෙහි ම ගැලෙන පවුලක රහත් වීමට පිනැති දරුවකු ඉපදීම, ළමා හපනුන්, මහා ප්‍රාඥයන් හා ආගමික උතුමන් ආදීන්ගේ උපත් වැනි කරුණු ආරය පිළිබඳ න්‍යායය ඇසුරෙන් විවරණය කිරීම දුෂ්කර ය. ආරය පිළිබඳ මේ ගැටලු සම්බන්ධයෙන් අඥඪදජචපදචබඪධද නම් සිත් ගන්නා කෘතියෙහිදී පස්කාල් මහතා මෙසේ සඳහන් කරයි:

“ආරය පිළිබඳ ගැටලුවෙහි ලා බීජය විසින් ඉටු කරනු ලබන කාර්යය සම්බන්ධයෙන් නැවතත් කිය යුත්තේ එම භෞතික බීජය ඇසුරෙන් විවරණය කළ හැක්කේ මිනිසාගෙන් අඩක් පමණක් බව ය. ආරයෙහි භෞතික අංශය පිළිබඳ ව එයින් ආලෝකයක් සැපයෙන නමුත්, චර්යාව බුද්ධිය සම්බන්ධයෙන් එය අප අඳුරේ ම තබයි. එමගින් මුළු මිනිසා ම නියෝජනය වන්නේ නම්, ඕනෑ ම පුද්ගලයකු වෙතින් නිරූපණය විය යුත්තේ ඔහුගේ දෙමවුපියන්ගේ ගති ලක්‍ෂණ පමණි. වෙන කිසි ලක්‍ෂණයක් තිබිය නොහැකි ය. එම ගති ලක්‍ෂණ ද දෙමවුපියන් වෙත ඇති පමණට මිස ඊට වඩා අඩු වැඩි විය නොහැකි ය. එහෙත් බෙහෙවින් යහපත් පවුල්වල අපරාධකාරයන් උපදිනු අපි දකිමු. සමාජයේ අතිශයින් ම අධම පුද්ගලයන්ට ශාන්තුවර දරුවන් උපදිනු ද අපි දකිමු. එක ම බීජයකින් එකම කාල-දේශ තත්ත්වයන් යටතේ උපදින සර්වසමාන නිවුන් දරුවන් කායික ව එකිනෙකාට සම වුව ද එකකු සුරදූතයකු මෙන් ද අනෙකා යම දූතයකු මෙන් ද හැසිරෙනු ඔබ දැක ඇත. ආරය ගැන කතා කරන අයට සැලකිල්ලට ගන්නට ප්‍රමාණවත් වන තරමට ළමා-හපන්නු ඕනෑ තරම් වෙති. මේ ළමා හපන්නුන්ගේ පරම්පරාවල මේ අයගේ ප්‍රාතිහාර්යාත්මක කෞශල්‍යයන් විග්‍රහ කිරීමෙහිලා ආරමය සාධක වශයෙන් දැක්විය හැකි එක ද මුත්තෙක් හෝ මිත්තණියක් ලැබේ ද?

“මේ අතීතය පැත්තෙන් හේතුවක් දක්වන්නට ඇති බැරිකම සමඟ, මෝසාට්, බිතෝවන් හා ඩාන්ටේ වැනි උපතින් ම හපන්කම් දක්වන දරුවන් බිහි නොකිරීමේ සාධකය ද එකට ගත් විට, භෞතිකවාදයට තමන් පනවාගෙන ඇති සීමා තුළ ආරය පිළිබඳ කාරණය මනා ව විග්‍රහ කරන්නට බැරි බව අපට පිළිගන්නට සිදු වේ. එමෙන් ම ආරය හැම විට ම හරියන්නේත් නැත. බොහෝ ශාරීරික ලක්‍ෂණ නැවත පහළ වීමක් දක්නට නොලැබේ. භයානක කායික දුබලතා ඇති පවුල්වල බොහෝ දරුවෝ ඒවායින් තොර ව උපදිති. ඔවුන්ගෙන් පැවැතෙන්නන්ට ඒවා බලපාන්නට හැකි පරිදි රෝගී ලක්‍ෂණ ඔවුන්ගේ පටක තුළ සැඟවී තිබෙන්නට පුළුවන. අනිත් අතට අතිශයින් ම වෙනස් වූ මානසික ලක්‍ෂණ ඇති දරුවන් එක ම පවුලේ දක්නට ලැබීම ද වැදගත් ය. බොහෝ සිල්වත් දෙමවුපියෝ දරුවන්ගේ දුසිරිත් ගැන වැලපෙති. එහෙයින් ආරය සහ පරිසරය තම පොරොන්දුව ඉටු කිරීමට අසමත් වී ඇත කියා හෝ දෙන්නට තමන් වෙත නැති දෙයක් දෙන බව අපට පෙනී යයි.”

බුදු දහමට අනුව නම්, මේ අසමානතාවට හේතුව ආහාර හා පරිසරය පමණක් නො වේ. කම්ම නියාමයෙහි ක්‍රියාකාරිත්වය හෙවත් අප අතීතයෙහි කළ ක්‍රියාවලින් අප රැස් කරගත් උරුමය හා වර්තමාන ක්‍රියා කලාපයෙහි ප්‍රතිඵලය යි. අපේ දුක හා සැප පිළිබඳ වගකිව යුත්තෝ අපි ම වෙමු. අපේ දෙවිලොව හා අපේ අපාය අපි ම හදාගනිමු. අපේ ඉරණමෙහි නිර්මාතෘවරු අපි ම වෙමු.

මනුෂ්‍යයන් අතර පවත්නා විවරණය කිරීමට අපහසු අසමානත්වයට හේතුව කුමක් දැ යි දැනගනු රිසි වූ සුභ නම් වූ එක් සත්‍ය ගවේෂක තරුණයෙක් බුදු රජාණන් වහන්සේ හමුවට පැමිණ ඒ ගැන විමසී ය:

“ස්වාමීනි, මිනිසුන් අතර, සමහරුන් අල්පායුෂ්ක වන්නටත්, සමහරුන් දීර්ඝායුෂ්ක වන්නටත්, සමහරුන්ට ලෙඩ රෝග වැඩි වන්නටත්, සමහරුන්ට ලෙඩ රෝග අඩු වන්නටත්, සමහරුන් දුර්වර්ණව සිටිත් දී සමහරුන් පැහැපත් වන්නටත්, සමහරුන් අල්පේශාක්‍ය ව (දුබල ව) සිටියදී සමහරුන් මහේශාක්‍ය (ප්‍රබල) වන්නටත්, සමහරුන් දුගී දුප්පත් ව සිටිය දී සමහරුන් ඉතා පොහොසත් වන්නටත්, සමහරුන් පහත් ව උපදිත් දී සමහරුන් උසස් ව උපදින්නටත්, සමහරුන් මන්ද බුද්ධික ව උපදිත් දී, සමහරුන් ප්‍රඥාවන්ත ව උපදින්නටත් හේතුව කුමක් ද?

එයට පිළිතුරු වශයෙන් බුදු රජාණන් වහන්සේ මෙසේ දේශනා කළ සේක:

“සියලු සත්ත්වයෝ කර්මය තමාගේ (ධනය) කොට සිටිති; කර්මය දායාද කොට, කර්මය හේතු කොට, කර්මය ඥාතියා කොට, කර්මය පිළිසරණ කොට වසති. සත්ත්වයන් උසස්-පහත් වශයෙන් ප්‍රභේද කරන්නේ කර්මය විසිනි.”

අනතුරු ව උන් වහන්සේ කර්මය හා විපාකය පිළිබඳ නියාමයට අනුව එබඳු විෂමතා ඇති වන ආකාරය පිළිබඳ ව විවරණයක් කළහ.

යම්කිසි පුද්ගලයෙක් ප්‍රාණවධයෙහි යෙදෙයි නම් දඩයක්කාරයකු ව ලේ තැවරුණු අතින් මරමින්, හිරිහැර කරමින් ජීවීන් කෙරේ දයානුකම්පාවක් නැති ව ජීවත් වෙයි නම්, ප්‍රාණඝාතයෙහි විපාක වශයෙන් මිනිසුන් අතර උපදින විට අල්පායුෂ්ක වෙයි.

යමෙක් ප්‍රාණඝාතයෙන් වැළකී අවි ආයුධ ඉවත දමා සියලු සතුන් වෙත දයානුකම්පාවෙන් වසයි නම්, ඔහුගේ එම ප්‍රාණඝාත විරතියෙහි අනුසස් වශයෙන් මිනිසුන් අතර උපදින විට දීර්ඝායුෂ ලබයි.

යමෙක් අතින් පයින්, පොලුවලින් හෝ සැත්වලින් අනුන්ට පහර දෙමින් හිරිහැර කරයි නම්, එහි විපාක වශයෙන් මනුෂ්‍ය ව උපන් විට විවිධ ලෙඩ රෝගවලින් පීඩා විඳියි.

යමෙක් අනුන්ට හිරිහැර නොකරන්නේ නම්, එම කුසලය හේතු කොටගෙන මිනිස් ලොව උපන් විට මනා සෞඛ්‍යය ඇති ව ජීවත් වෙයි.

යමෙක් ද්වේෂ සහගත ව, කෝප බහුල ව ඉතා සුළු දෙයින් පවා කිපෙමින් කෝපය ප්‍රකට කරයි නම්, ඒ හේතුවෙන් මිනිසුන් අතර, උපදින විට විරූපී ව උපදියි.

යමෙක් ද්වේෂයෙන් තොර ව නොකිපෙමින් නොසරුප් වදන් වැස්සකින් පවා අමනාප නොවෙමින් ප්‍රසන්න ව වසයි නම්, මිනිසුන් අතර උපදින විට සුරූපි ව උපදියි. යම්කිසි පුද්ගලයෙක් ඊර්ෂ්‍යා සහගත ව අනුන්ගේ සම්පත්වලට, ගරු සම්මානවලට ඊර්ෂ්‍යා කරයි නම්, හදෙහි ඊර්ෂ්‍යාව රඳවාගනියි නම්, එහි ප්‍රතිඵලය ලෙස අල්පේශාක්‍ය ව උපදියි.

යමෙක් ඊර්ෂ්‍යා විරහිත ව අනුන්ගේ සම්පත්වලට, ගරු සම්මානවලට, ඊර්ෂ්‍යා නොකර සිත ඊර්ෂ්‍යාවෙන් කෙලෙසා නොගෙන වසයි නම්, ඒ හේතුවෙන් මනු ලොව උපදින විට ප්‍රබල ව මහේශාල්‍ය ව උපදියි.

යමෙක් කිසිවක් කිසිවකුට නොදෙමින්, දන් දීමෙන් වැළකී සිටී නම්, ඔහුගේ ගිජු බව හේතුවෙන් මනුෂ්‍යයන් අතර උපදින විට දුගී ව උපදියි.

යමෙක් නිර්ලෝභී ව දන් දීමෙහි නිරත වේ නම්, ඒ දානපතිත්වය හේතුවෙන් මනු ලොව උපදින විට පොහොසත් ව උපදියි.

යමෙක් තද ගති ඇති ව අනුන් හෙළා දකිමින් ගරු කළ යුත්තන්ට ගරු නොකරමින් වසයි නම්, ඒ අභංකාර පරවශ නිගරු පැවතුම්වල ප්‍රතිඵලයක් වශයෙන් හේ මිනිසුන් අතර, පහත් ව උපදියි.

යමෙක් නිරහංකාර ව, අනුන් හෙළා නොදකිමින් ගරු කළයුත්තන්ට ගරු කරමින් වෙසෙයි නම්, එම අනතිමානය හේතුවෙන් මිනිසුන් අතර උපදින විට උසස් ජන්මයක් ලබයි.

යමෙක් සිල්ණත් ගුණවත් උතුමන් හමු වී කුසල්-අකුසල්, හරි-වැරදි, කළ යුතු-නොකළ යුතු අභිවෘද්ධියට හේතු හා පරාභවයට හේතු වැනි දේ ගැන නොවිසමයි නම්, එහි ප්‍රතිඵල වශයෙන් හේ මිනිසුන් අතර උපදින විට අඥාන ව උපදියි.

යමෙක් සිල්වත් ගුණවත් උතුමන් හමු ව පෙර දැක්වූ කරුණු විමසා දැනගනියි නම්, ඒ කුසලයන් හේතුවෙන් මිනිසුන් අතර උපදින විට හේ නැණවත් ව උපදියි.

අප උපදින විට අපට ආරය නිසා ලැබෙන ජන්මීය ලක්‍ෂණ ඇති බව ප්‍රතික්‍ෂේප කළ නොහැකි ය. ඒ සමඟ ම විද්‍යාවට පැහැදිලි කළ නොහැකි වෙනත් සහජ හැකියාවන් ද අපට උරුම වන බව ද සත්‍යයකි. අපගේ පැවැත්මේ න්‍යෂ්ටික වූ ශුක්‍රාණු හා ඩිම්බය නම් දළ සාධකය වෙනුවෙන් අපි අපේ මාපියන්ට ණය ගැති වෙමු. එහෙත් ඒවා කලලය සම්භව වීම සඳහා අවශ්‍ය කර්ම ශක්තිය ලැබෙන තුරු එම බීජ උදාසීන ව පවතියි. එහෙයින් අපගේ උපත විෂයයෙහි වඩාත් ම වැදගත් වන සාධකය කර්මය යි.

අපගේ කායික හා චෛතසික ලක්‍ෂණ සකස් වීමෙහි ලා ඇතැම් විට මවුපියන්ගෙන් ලැබෙන සෛලයනට වඩා බෙහෙවින් වැදගත් කාර්යභාරයක් රාශිභූත ව වූ පූර්වකර්ම හේතුවෙන් ඉටු වන බව පෙනේ.

නිදසුනක් වශයෙන් වෙනත් අයට මෙන් ම බුදු රජාණන් වහන්සේට ද දෙමවුපියන් වෙතින් ජනක සෛලය හා ජාන ලැබිණ. එහෙත් කායික ව මානසික ව හා චර්යාමය වශයෙන් උන් වහන්සේට ළං වන කෙනෙක් උන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ මුතුන්-මිත්තන් අතර කිසි සේත් ම සෙවිය නොහැකි ය. බුදු රජාණන් වහන්සේගේ ම වචනවලින් පවසත හොත් උන් වහන්සේ අයත් වූයේ රාජ වංශයට නො ව, බුද්ධ වංශයට ය. තම කර්මයේ ම නිර්මාණයක් වූ උන් වහන්සේ ස්ථිර වශයෙන් ම ආශ්චර්ය මනුෂ්‍යයෙක් වූ හ.

ලක්‍ඛණ සූත්‍රයෙහි දැක්වෙන පරිදි බුදු රජාණන් වහන්සේට දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ බඳු සුවිශේෂ රූප ලක්‍ෂණ හිමි වූයේ පූර්ව ජන්මයන්හි කරන ලද කුශල කර්මයන්හි විපාක වශයෙනි.

මේ නිදර්ශනයෙන් පැහැදිලි වන්නේ කර්ම ශක්තියට අපගේ කායිකත්වය කෙරේ බලපාන්නට හැකියාවක් තිබෙනු පමණක් නො ව, මවුපිය සෛලයන්හි ජාන ශක්තිය නිෂේධනය කරන්නට ද හැකියාව ඇති බව ය. “අපි අපගේ කර්මයෙහි උරුමකරුවෝ වෙමු” යි බුදු රජාණන් වහන්සේ වදාළේ එහෙයිනි.

මේ විෂමතා පිළිබඳ ගැටලුව විවරණය කරමින් අත්‍ථසාලිනියේ මෙසේ දක්වා ඇත:

“කර්ම විවිධත්වය හේතු කොටගෙන සත්ත්වයන්ගේ උත්පත්තියෙහි දී උසස්-පහත්, හීන-ප්‍රණීත, සුඛිත හා දුක්‍ඛිත යනාදි විවිධත්වයන් ඇති වේ. කර්මයෙහි විවිධත්වය හේතුවෙන් ම පුද්ගලයන් අතර, සුරූපී-විරූපී, උත්තම-අධම, පරිපූර්ණ-විකලාංග ආදි විවිධත්වයන් ඇති වේ. කර්ම විවිධත්වය හේතුවෙන් ම පුද්ගලයන් අතර ලාභ-අලාභ, අයස-යස, නින්දා-ප්‍රශංසා, සැප- දුක යන ලෝක ධර්මතා ද පහළ වෙයි.

“කර්මයෙන් ලෝකය ඉදිරියට යයි. කර්මයෙන් සත්ත්වයෝ පවතිති. සියලු සත්ත්වයෝ කර්මයෙන් ම බැඳී සිටිති. රථ රෝදය කඩ ඇණයෙන් රැඳෙනු මෙනි. කර්මය නිසා ම කීර්ති ප්‍රශංසා ලැබේ. බන්ධනය, විනාශය කර්මයෙන් ම වෙයි. කර්මයෙන් විවිධ විපාක ලැබෙන බව දැන දැන ලෝකයෙහි කර්මය නැතැ යි පවසන්නේ කවර හෙයින් ද?”

මේ අනුව, බෞද්ධ දෘෂ්ටියෙන් බලන විට අපගේ වර්තමාන මානසික, චර්යාමය, බුද්ධිමය හා ගති ලක්‍ෂණමය විවිධතා බහුල වශයෙන් ම අපගේ අතීත හා වර්තමාන කර්ම හේතුවෙන් ම ඇති වූ ඒවා බව කිය හැකි ය.

සියල්ල සිදු වන්නේ කර්මයෙන් නො වේ.

මේ විවිධතාවන් ඇති වන්නේ ප්‍රධාන වශයෙන් කර්මයෙන් යැ යි බුදු සමයෙහි ඉගැන්වුව ද, සියල්ල ම සිදු වන්නේ කර්මයෙනැ යි එයින් කියවෙතැ යි වරදවා තේරුම් නොගත යුතු ය. කර්ම නියාමය මොන තරම් වැදගත් වුවත් එය බෞද්ධ දර්ශනයෙහි ඉගැන්වෙන ප්‍රත්‍ය (පච්චය) විසිහතරකින් එකක් පමණක් බව සිහියට ගත යුතු ය.

සුවදායක හෝ දුක්‍ඛදායක හෝ සුව-දුක් නොවන කවර වින්දනයක් වුව ද පෙර කළ කර්මයෙහි විපාක වශයෙන් ලැබේ” යන වැරදි අදහස විවේචනය කරමින් භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ:

“එසේ නම් මිනිසුන් මිනීමරුවන්, හොරුන්, කාමමිථ්‍යාචාරීන්, බොරුකාරයන්, කේළාම්කරුවන්, නිෂ්ඵල කතා කරන්නන්, විෂම ලෝභීන්, වෛර බඳින්නන්, මිසදිටුවන් වන්නේ පූර්ව කර්ම හේතුවෙන් විය යුතු ය. මෙසේ අවශ්‍ය හේතුව වශයෙන් පෙර කර්මය දක්වන්නවුනට යමක් කරන්නට ආශාවක් හෝ වීර්යයක් හෝ මේ දෙය කිරීමට හෝ මේ මේ දෙය නොකරන්නට අවශ්‍යතාවක් නොමැත.”

මේ වැදගත් දේශනය මගින් සියලු භෞතික තත්ත්වයන් හා මානසික ආකල්ප සියල්ල හුදෙක් පෙර කළ කර්ම නිසා ම සිදුවෙයි යන මතය බැහැර කැරේ. අපේ වර්තමාන ජීවිතය සහමුලින් ම අපගේ පූර්ව කර්මයන් මගින් නිශ්චිත ව තිබේ නම් හෝ ඒවායින් සම්පූර්ණයෙන් ම පාලනය වන්නේ නම්, කර්මය ඉරණම්වාදයක් හෝ දෛවවාදයක් හෝ නියතිවාදයක් බවට පත් වෙයි.

එසේ වුව හොත් කිසිවකුට තමන්ගේ වර්තමානය හෝ අනාගතය හැඩ ගස්වාගැනීමට අවකාශයක් ඉතිරි වන්නේ නැත. එමෙන් ම ස්වච්ඡන්දතාව (හිතා මතා ක්‍රියා කිරීමේ හැකියාව) අර්ථ ශූන්‍ය බවට පත් වෙයි. ජීවිතය හුදු යාන්ත්‍රික තත්ත්වයක් බවට පත් වෙයි. අපගේ සියලු කටයුතු පාලනය කරන, අපේ අනාගතය නිශ්චය කරන, සර්වබලධාරී දෙවි කෙනකු විසින් අප නිර්මාණය කිරීම හා අප හිතාමතා නිදහසේ කරන ක්‍රියා පිළිබඳ කිසි ම සැලකිල්ලකින් තොර ව, අපේ ඉරණම මුළුමනින් ම තීරණය කර, අපේ ජීවන රටාව පාලනය කරන අනුල්ලංඝනීය පූර්ව කර්මයක් මගින් උපදින්නට සිදු වීම අතර වෙනසක් නැත. මේ දෙකින් ම සිදු වන්නේ එක ම දේ නිසා කවර එකක් තෝරාගත්තත් වෙනසක් නැත. බෞද්ධ කර්මවාදය එබඳු ඉරණම්වාදයක් නො වේ.

භෞතික හා ආධ්‍යාත්මික ක්‍ෂේත්‍රයන්හි ක්‍රියාත්මක වන නියාම ධර්ම පහක් ගැන බුදු දහමෙහි ඉගැන්වෙයි. ඒ මේවා ය:

1. උතු නියාම: අජීව වස්තුන් පිළිබඳ භෞතික නියාමයකි. ඒ ඒ ඍතුවලට සුළං හැමීම, වර්ෂාව ලැබීම, නිසි කලකට නොවරදවා ඍතු උදා වීම, ඒ ඒ ඍතු- වලට ආවේණික වෙනස් කම් හා සිද්ධි, වර්ෂාව හා සුළඟ හමන ආකාරය, උෂ්ණයෙහි ස්වභාවමය ආදිය මෙයට අයත් ය.

2. බීජ නියාම:- ඇට වර්ග හා බීජයන්ගේ ස්වභාවය. නිදසුන්: වී ඇටවලින් ගොයම් වැවීම, උක් ගස් හා මී පැණිවල ඇති මිහිරි රසය, ඇතැම් පලතුරුවල ඇති විශේෂ ලක්‍ෂණ, සෛල හා ජාන පිළිබඳ විද්‍යාත්මක න්‍යාය සහ නිවුන් දරුවන්ගේ සමානතා ආදිය මෙයට ඇතුළත් කළ හැකි ය.

3. කම්ම නියාම: කර්ම සහ විපාකය පිළිබඳ නියාමය. නිදසුන්: කුසල හා අකුසල කර්ම නිසා හොඳ හා නරක විපාක ලැබීම. ජලය පහත් තැනට ගලා බස්නා මෙන් කර්මය ද අවස්ථාව ලද විට විපාක දෙයි. එය තෑගි දීම හා දඬුවම් දීම යන ක්‍රමයට නොව ආවේණික ධර්මතාවක් වශයෙන් මෙය සිදු වේ. මෙම ධර්මතාව ඉර හඳ උදා වීම මෙන් ම ස්වාභාවික ය. කර්ම විපාකය පිළිබඳ නියාමය එය යි. කර්මය තුළ ම සන්තති ධර්මතාව ද ගම්‍ය වෙයි. අපේ විවිධ අත්දැකීම්, පෞරුෂ ලක්‍ෂණ හා රැස් කෙරෙන දැනුම අපේ මනසෙහි සටහන් වෙයි. මේ අත්දැකීම් හා චරිත ලක්‍ෂණ භවයෙන් භවයට සංක්‍රමණය වෙයි. අපට ළමා වියේ අත්දැකීම් අමතක වන අයුරින් ම කාලයාගේ ඇවෑමෙන් මෙයින් සමහරක් අමතක වෙයි. කිසිවකුගෙන් ඉගෙන නොගෙන විවිධ දේ පිළිබඳ ව විස්මිත ලෙස කතා කරන ළමා හපන්නු මෙම සන්තති ධර්මතාවට හොඳ නිදසුනකි.

4. ධම්ම නියාම: ධර්මතාවෙහි නියාමය. නිදසුන්: බෝසත්වරයකු අවසන් වරට ලොව උපදනා විට ස්වභාව ධර්මයෙහි ඇති වන වෙනස්කම් (අසිරිමත් සිදුවීම්) ගුරුත්වාකර්ෂණය හා එබඳු ස්වභාවධර්ම නීති හොඳ වීමට ඇති හේතු වැනි දේ මීට ඇතුළත් කළ හැකි ය.

5. චිත්ත නියාම: මනසෙහි නියාමය. නිදසුන්: චිත්ත සන්තතිය, සිතෙහි අන්තර්ගත සාධක දිවැස්, දිවකන්, පූර්ව ජන්ම සිහි කිරීම, අනාගත ඥානය, පරචිත්ත විජානනය වැනි අධිමානසික ශක්ති ද ඇතුළත් ව චිත්ත බලය යනාදිය චිත්ත නියාමය වේ. මේවා නූතන විද්‍යාවෙන් අර්ථකථනය කළ නොහැකි යි.

සියලු භෞතික හා ආධ්‍යාත්මික සංසිද්ධි මේ සාධාරණ නියාම ධර්ම පහ ඇසුරෙන් විවරණය කළ හැකි ය. කම්ම නියාමය මේ පහෙන් එකක් පමණි. වෙනත් ඕනෑ ම ස්වභාව ධර්ම නීතියක් පරිද්දෙන් ම මේවාට නීති දායකයෙක්, පනවන්නෙක් අනවශ්‍ය ය.

මේ පහෙන්, උතු නියාමය, බීජ නියාමය හා ධම්ම නියාමය මිනිස් නුවණින් හා චිත්ත බලයෙන් තරමක් දුරට පාලනය කළ හැකි බව සැබෑ වූව ද බෙහෙවින් ම යාන්ත්‍රික ය. නිදසුන් දක්වත හොත්, ගින්න ස්වභාවයෙන් ම දවනසුලු හා හිම දැඩි ශීතල ලෙය මිදෙනසුලු වුව ද, සමහර මිනිස්සු නොපිලිස්සි ගිනි මත ගමන් කරන්නට ද නිරුවතින් හිම මත බවුන් වඩන්නට ද සමත් වූ හ. උද්‍යානවේදීන් මල් සහ පලතුරු විෂයයෙහි කර ඇති ප්‍රාතිහාර්යාත්මක වෙනස්කම්, යෝගීන් අහසෙන් ගමන් කිරීම වැනි දේ ද ඊට නිදසුන් ය.

චිත්ත නියාමය ද බෙහෙවින් යාන්ත්‍රික නමුත්, බෞද්ධ භාවනා ක්‍රම මගින් එය ද පාලනය කිරීම අරමුණු කැරේ. කම්ම නියාමය ස්වයංක්‍රීය වන අතර, කර්මය බලගතු වූ විට මිනිසාට අවශ්‍ය වූව ද, එහි ක්‍රියාකාරිත්වය වළකා ලිය නො හේ. එහෙත් සම්මා දිට්ඨිය හා අධිෂ්ඨානය මගින් අනාගතය හැඩගස්වාගැනීමට පුළුවන. නිරතුරු කුසල කර්ම කිරීම මගින් අකුසල කර්ම විපාක දීම මඟහැරවිය හැකි කර්මය බෙහෙවින් සංකීර්ණ නියාමයක් හෙයිනි. එහි සැබෑ තතු දත හැක්කේ බුදු කෙනෙකුන් විසින් ම ය. අංගුත්තර නිකායෙහි දී කර්ම විපාකය චතුර්විධ අචින්තෙය්‍යයන්ගෙන් එකක් ලෙස තථාගතයන් වහන්සේ විසින් දක්වා තිබේ. බෞද්ධයන්ගේ අරමුණ වන්නේ කම්ම නිරෝධය යි.