loader image
Select Page

ෆේස්බුක් මිතුරන් එකතු වී හාලි ඇල සිට කිලෝමීටර් 19ක් දුරින් මනරම් පරිසරයක් සහිත අතිශය දුෂ්කර ගම්මානයක පිහිටි කන්දගෙදර, ගලඋඩ අම්පිටිය විහාරස්ථානයට වී පෑලක කුඹුරක් පූජා කරන ලදි. 
සියලුම මුදල් ගෙවා විහාරස්ථානයේ නමට ඔප්පු සකස් කරන ලදි. ඔප්පුව විහාරස්ථානයට පූජා කිරීමේ පිංකම මැයි 17-27ත් අතර දිනක පැවැත්වීමට නියමිතය. මේ පිංකමට ඔබටත් පැමිණ සම්බන්ධ විය හැක.

වැඩි විස්තර පසුව බලාපොරොත්තු වන්න…

කෙත් වතු පූජාව (කුඹුරු පූජා කිරීම) පිංකම පිළිබඳ වැඩි දුරටත්…

භික්ෂු ජීවිතය පවත්වාගෙන යාමට ප්‍රධාන වශයෙන් සිවුපසය වන චීවර පිණ්ඩපාත සේනාසන හා ගිලානපච්චය අවශ්‍ය වේ. මෙහි සේනාසන යන වචනයෙන් වාසස්ථාන කියවේ. වාසස්ථාන හැඳින්වීමට විවිධ වූ වචන සමූහයක් ව්‍යවහාරයේ පවතී. ආරාමය, පන්සල, විහාරය, අසපුව, ආශ්‍රමය පිරිවෙණ ඉන් කීපයකි. එමෙන්ම ආරාම ශබ්දයෙන් මල්වතු පලතුරු වතු විනෝද උයන් වෙනත් රමණීය ස්ථාන ආරාම ලෙස නම් කර ඇත.
වේළු වනයෙන් ආරම්භ වූ ආරාම නිර්මාණය භාග්‍යවතුන් වහන්සේ ධරමාන අවදියේම භාරතයේ ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්තවිය. ජේතවනය පූර්වාරාමය වැනි ස්ථාන අංග සම්පූර්ණ ගොඩනැගිලි වලින් යුක්තව තිබී ඇත. විහාරස්ථානයකට අයත් අංග හෙවත් ගොඩනැගිලි රාශියක් බද්ධව පවතී.
වර්තමානයේ වුවද මෙය මනාව දැකිය හැකිය, විහාරය, ධර්ම ශාලාව, දාන ශාලාව, චෛත්‍ය, බෝධිය, පොහොය සීමාව, වැසිකිළි කෙසිකිළි, මලසුන් ගෙවල් ආදී විවිධ ගොඩනැගිලි සංකීර්ණයන් විහාරස්ථානයක දක්නට ඇත. මෙම ගොඩනැගිලි පරම්පරාගණනාවක් ආරක්ෂාවන ආකාරයට ශක්ති සම්පන්නව නිර්මාණය කර ඇත. අදටත් ඉන්දියාවේ හා ලංකාවේ පුරා විද්‍යා ස්ථාන තුළින් ඒ අවබෝධය ලබාගත හැකිය.
මෙවැනි ගොඩනැගිලි සංකීර්ණයක් පිරිසිදුව නිර්මලව ආරක්ෂා කිරීම විහාරස්ථානයක දායක පිරිසට තනිවම කළ නොහැකිය. විහාරස්ථානයක් තුළ ඇති ගොඩනැගිලි ආරක්ෂා කිරීමත් එමෙන් විහාරස්ථාන යන්හි සිදුකරණ පෙරහැර උත්සව ආදී විවිධ කටයුතු රාශියක් වාර්ෂිකව සිදු කරනු ලබයි. ඒවාට විශාල ධනයක් අවශ්‍ය වේ. විශාල පිරිසක් අවශ්‍ය වේ.
අතීතයේ විහාරස්ථානවල දහස් ගණන් භික්ෂුහු වාසය කළහ. එහෙයින් ඒ භික්ෂූන්ට අවශ්‍ය සිව්පසය ලබා දීමටත් ස්ථාන නඩත්තුවටත් එහි සේවය කරණ ජනතාවට බත් වැටුප් දීමටත් විශාල මුදලක් ධනයක් අවශ්‍ය විය. මේ තත්වය විහාරස්ථානයේ දායක පිරිසට දැරීමට නොහැකි අවස්ථා ඇති වේ. එබඳු අවස්ථාවන්ට මුහුණ දීමටත් ශාසනයේ අනාගත චිරස්ථිතිය සඳහාත් එදා හෙළ රජදරුවන් විහාරස්ථාන වලට ගොඩ මඩ ඉඩම් කුඹුරු ආදී දේ පූජා කළේ ශාසනික කටයුතු කරගෙන යාමට උපකාර කිරීමක් වශයෙන් සළකාගෙනය.