loader image
Select Page
ඉත්තෑකන්ද ශ්‍රී රාජගිරි විහාරස්තානයේ බණ ශාලාවේ අබලන් වූ වහලය ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම

ඉත්තෑකන්ද ශ්‍රී රාජගිරි විහාරස්තානයේ බණ ශාලාවේ අබලන් වූ වහලය ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම

අද උදෑසනම අපි පන්සලට පැමිණියේ ධර්ම ශාලාවේ වහලය ප්‍රතිසංස්කරණ වැඩකටයුතු ආරම්භ කිරීමටයි. අප විහාරස්ථානයට පැමිණෙන විටද ගම්වාසීන් විශාල ප්‍රමාණයක් රැස්ව සිටියේ මෙම පිංකමට සහභාගී වීමටයි. පසුව චිරාගත සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව විහාරාධිපති ස්වාමීන්වහන්සේ විසින් පැමිණ සිටි පිරිස පංචසීලයේ පිහිටවන්නට විය. අනතුරුව උන්වහන්සේ විසින් කෙටි අනුශාසනාවක් සිදු කරන ලදි. ඉන්පසු සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ වහලයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන්නට විය. එම අවස්ථාවේදී විහාරස්ථාන භූමියට පිරිත් පැන් ඉස සෙත් පැතීමක්ද සිදු කරන ලදි. 
මෙය සතියක් ඇතුලත් පොසොන් පොහොයට කලින් නිම කිරීමට අවශ්‍ය බැවින් ඔබගේ දායකත්වය උපරිමයෙන් අවශ්‍ය වේ. අද දිනය ඇතුලතදී ඇස්තමේන්තුව සමග ව්‍යාපෘතියට අදාල පෝස්ට් එක පළකිරීමට අප සූදානම්.

මෙතෙක් කතාව….

සිංහරාජ වනාන්තරයේ පාමුල පිහිටි මනස්කාන්ත පරිසරයක පිහිටි රාජගිරි විහාරස්තානය දකින සියල්ලන්ගෙම සිත් ඇද ගන්නා දසුනකි. මෙය ඉතාම කුඩා අඩුපහසුකම් සහිත පන්සලක්. ආවාස ගෙය, ගන්ඨාර කුළුණ, බෝධිය සහ බණ ශාලාව හැරෙන්නට වෙන ගොඩනැගිළි නැහැ.
විහාරාධිපති උඩුහාවර රතනසාර හිමිපානන්ගේ අනුශාසකත්වය යටතේ අපි වෙසක් පුර පසලොස්වක පොහෝ දින බු.ව. 2560 සිහිකිරිම පිනිස ජය ශ්‍රී මහා බෝ සමිදුන්ගේ අංකුරයක් විහාරස්ථානය වෙත පෙරහැරකින් වැඩම කරවූවා. ඔබ මේ දකින්නේ එදින ගත් ඡායාරූපයි. 
බණශාලවේ වහලය තිබෙන්නේ ඉතාමත් අබලන් තත්වයේ. වෙසක් පොහෝදින 100කට ආසන්න පිරිසක් මෙහි සිල් සමාදන් වූවා. මේ ප්‍රදේශයේ වර්ෂයේ සෑම කාලයකදීම පවා තිබෙන්නේ වැහිබර කාලගුණයක්. වෙසක් පොහෝ දිනයේදීද අනෝරා වැස්සක් වැස්සා. ඒ වර්ෂාව අවස්ථාවේ තමා අපිට පෙනීගියේ මේ බණ මඩුවේ සැබෑ තත්වය. වහලයේ සෑම තැනින්ම වතුර බිංදු බිමට පතිත වෙනවා. උපාසක අම්මලා, තාත්තලා වර්ෂාව වැඩිවෙනකොට තැනින්තැන තෙමෙන්න පටන්ගන්නකොට පැදුරු එහා මෙහා කරගන්නවා. දානේ බෙදන්න ආපුඅය එහාට මෙහාට යනකොට වතුර පෑගිල බණ ශාලව එකම මඩ ගොඩක් වෙලා. නිදහසේ සිල් සමාදන් වෙන්න අවස්ථාවක් නැහැ. තැනින් තැන වතුර එකතු වීමට භාජන තියලා. ඒවා විඩෙන් විඩේ ඉවත් කරනවා. 
ඉතිං අපි හිතුවා පොසොන් පෝයට කලින් මේ වහලය ප්‍රතිසංස්කරණය කර දෙන්න. මේ උතුම් වූ කුසල කර්මයට ඔබටත් අද දවසේ දායක වෙන්න අවස්ථාව සලසා දෙන්න සූදානම්. අපි නැවතත් ඊයේ ඉත්තෑකන්දට පැමිණියේ ඒ සඳහායි. සම්බන්ධ වෙන්න කැමති අය කමෙන්ට් කරන්න. අද දිනයේ ව්‍යාපෘතියට අදාල පෝස්ට් එක දැමූ පසු ඔබට දැනුම් දෙන්නම්…

වැඩි විස්තර බලාපොරොත්තු වන්න…

සමාජසත්කාර කෙත්වතු පූජා | අටමහ කුසල් Plan 2016

සමාජසත්කාර කෙත්වතු පූජා | අටමහ කුසල් Plan 2016

ෆේස්බුක් මිතුරන් එකතු වී හාලි ඇල සිට කිලෝමීටර් 19ක් දුරින් මනරම් පරිසරයක් සහිත අතිශය දුෂ්කර ගම්මානයක පිහිටි කන්දගෙදර, ගලඋඩ අම්පිටිය විහාරස්ථානයට වී පෑලක කුඹුරක් පූජා කරන ලදි. 
සියලුම මුදල් ගෙවා විහාරස්ථානයේ නමට ඔප්පු සකස් කරන ලදි. ඔප්පුව විහාරස්ථානයට පූජා කිරීමේ පිංකම මැයි 17-27ත් අතර දිනක පැවැත්වීමට නියමිතය. මේ පිංකමට ඔබටත් පැමිණ සම්බන්ධ විය හැක.

වැඩි විස්තර පසුව බලාපොරොත්තු වන්න…

කෙත් වතු පූජාව (කුඹුරු පූජා කිරීම) පිංකම පිළිබඳ වැඩි දුරටත්…

භික්ෂු ජීවිතය පවත්වාගෙන යාමට ප්‍රධාන වශයෙන් සිවුපසය වන චීවර පිණ්ඩපාත සේනාසන හා ගිලානපච්චය අවශ්‍ය වේ. මෙහි සේනාසන යන වචනයෙන් වාසස්ථාන කියවේ. වාසස්ථාන හැඳින්වීමට විවිධ වූ වචන සමූහයක් ව්‍යවහාරයේ පවතී. ආරාමය, පන්සල, විහාරය, අසපුව, ආශ්‍රමය පිරිවෙණ ඉන් කීපයකි. එමෙන්ම ආරාම ශබ්දයෙන් මල්වතු පලතුරු වතු විනෝද උයන් වෙනත් රමණීය ස්ථාන ආරාම ලෙස නම් කර ඇත.
වේළු වනයෙන් ආරම්භ වූ ආරාම නිර්මාණය භාග්‍යවතුන් වහන්සේ ධරමාන අවදියේම භාරතයේ ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්තවිය. ජේතවනය පූර්වාරාමය වැනි ස්ථාන අංග සම්පූර්ණ ගොඩනැගිලි වලින් යුක්තව තිබී ඇත. විහාරස්ථානයකට අයත් අංග හෙවත් ගොඩනැගිලි රාශියක් බද්ධව පවතී.
වර්තමානයේ වුවද මෙය මනාව දැකිය හැකිය, විහාරය, ධර්ම ශාලාව, දාන ශාලාව, චෛත්‍ය, බෝධිය, පොහොය සීමාව, වැසිකිළි කෙසිකිළි, මලසුන් ගෙවල් ආදී විවිධ ගොඩනැගිලි සංකීර්ණයන් විහාරස්ථානයක දක්නට ඇත. මෙම ගොඩනැගිලි පරම්පරාගණනාවක් ආරක්ෂාවන ආකාරයට ශක්ති සම්පන්නව නිර්මාණය කර ඇත. අදටත් ඉන්දියාවේ හා ලංකාවේ පුරා විද්‍යා ස්ථාන තුළින් ඒ අවබෝධය ලබාගත හැකිය.
මෙවැනි ගොඩනැගිලි සංකීර්ණයක් පිරිසිදුව නිර්මලව ආරක්ෂා කිරීම විහාරස්ථානයක දායක පිරිසට තනිවම කළ නොහැකිය. විහාරස්ථානයක් තුළ ඇති ගොඩනැගිලි ආරක්ෂා කිරීමත් එමෙන් විහාරස්ථාන යන්හි සිදුකරණ පෙරහැර උත්සව ආදී විවිධ කටයුතු රාශියක් වාර්ෂිකව සිදු කරනු ලබයි. ඒවාට විශාල ධනයක් අවශ්‍ය වේ. විශාල පිරිසක් අවශ්‍ය වේ.
අතීතයේ විහාරස්ථානවල දහස් ගණන් භික්ෂුහු වාසය කළහ. එහෙයින් ඒ භික්ෂූන්ට අවශ්‍ය සිව්පසය ලබා දීමටත් ස්ථාන නඩත්තුවටත් එහි සේවය කරණ ජනතාවට බත් වැටුප් දීමටත් විශාල මුදලක් ධනයක් අවශ්‍ය විය. මේ තත්වය විහාරස්ථානයේ දායක පිරිසට දැරීමට නොහැකි අවස්ථා ඇති වේ. එබඳු අවස්ථාවන්ට මුහුණ දීමටත් ශාසනයේ අනාගත චිරස්ථිතිය සඳහාත් එදා හෙළ රජදරුවන් විහාරස්ථාන වලට ගොඩ මඩ ඉඩම් කුඹුරු ආදී දේ පූජා කළේ ශාසනික කටයුතු කරගෙන යාමට උපකාර කිරීමක් වශයෙන් සළකාගෙනය.

Ashi De Zilva මිතුරියගේ උපන්දිනය වෙනුවෙන් පිරිකර පූජා (Part 02)

Ashi De Zilva මිතුරියගේ උපන්දිනය වෙනුවෙන් පිරිකර පූජා (Part 02)

අප්‍රේල් දෙවෙනි දින තිබු ආශි ෆේස්බුක් මිතුරියගේ උපන්දිනය වෙනුවෙන් ඇය මාවෙත ලබා දුන් සිවුරු පිරිකරක්, කුඩයක්, බඳ පටියක් සහ කරඬුන් වහන්සේලා තැන්පත් කිරීමට භාවිතා කරන නෙළුම් මලක් මා විසින් බදුල්ල, රොක් හිල්හි ශ්‍රී ධම්මාරාම විහාරස්ථානයේ නායක ස්වාමීන්වහන්සේට පූජා කලා. ඒත් සමඟම තවත් සිවුරු පිරිකරක්, කුඩයක් සහ බඳ පටියක් පන්සලේ විහාරවාසී ස්වාමීන්වහන්සේ නමකට පන්සලට පැමිණ සිටි අසරණ ආච්චී කෙනෙක් මඟින් පූජා කෙරෙව්වා. ආච්චීට උතුම් පිංකමකට සහභාගී වෙන්න ලැබුනේ ඔබගේ කරුණාව නිසයි. ඔබට බොහොම පිං….

වැඩි විස්තර සහ ඡායාරූප බලාපොරොත්තු වන්න…

An idea by Danesh Maduranga Edirisooriya
Project of SamajaSathkara.lk

Project සසුනට එළියක් | The Next Step – Support for Piriven Education

Project සසුනට එළියක් | The Next Step – Support for Piriven Education

ලෝකයේ උතුම් රට ලංකාවයි. එහෙම වෙන්න එක හේතුවක් තමයි බුදු දහමත් සමග මිනිසුන් ගුණධර්ම සාරධර්ම සුරැකි තිබීම. ඉතින් ඒ ගුණධර්ම සාරධර්ම සුරැකි තියෙන්න මිනිසුන් හා පන්සල අතර මනා බැදීමක් තියෙන්න ඕනි. ඉතින් ඒ දිම තව බොහෝ කාලයක් රැක ගන්නටනම් අපේ සංඝ පරම්පරාව සුරැකි තියෙන්න ඕනි. මොකද කොපමණ වෙහෙර විහාරස්ථාන තිබ්බත් සංඝ පරපුර රැකුනේ නැතිනම් බුදු දහම සුරකෙන්නේද නෑ . ඉතින් අද බලපාල තියෙන ලොකු ගැටළුවක් තමයි අපේ සංඝ පරපුර ඉතා විශාල ලෙස අඩුවී යෑම. ඉතින් මේ සඳහා සුළු හෝ විසදුමක් සෙවීමට සමාජ සත්කාර කණ්ඩායම පටන්ගත් ව්‍යාපෘතිය වන්නේ සසුනට එළියක්.

ඉතින් මං ශ්‍රාවස්තිපුර ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්තානයට ගිය වෙලාවේ දැක්කා මේ පන්සලෙත් සාමණේර ස්වාමින් වහන්සේලා දෙන්නෙක් ඉන්නවා. ඉතින් ගොඩාක් දුෂ්කර ප්‍රදේශයක තියෙන විහාරස්ථානයක් මේක. ඉතින් මම ලොකු හාමුදුරුවන්ගෙන් ඇහුවා මේ සාමණේර ස්වාමින් වහන්සේලා දෙනම ගැන. එක්කෙනෙක් අලුත්වැව රාහුල හාමුදුරුවෝ වයස අවු. 9යි.අනිත් කෙනා අලුත්වැව සුධම්ම හාමුදුරුවෝ. වයස අවු 13. උන් වහන්සේලා දෙනමම පිරිවෙන් අධ්‍යාපනය ලබනවා. සහෝදරයෝ දෙන්නෙක්. දෙමව්පියෝ නැහැ.* ඉතින් උන් වහන්සේලා දෙන්නට ඒ සඳහා විශාල මුදලක් වැය උනත් කොහොම හරි දෙන්නට උගන්වනවා කියලා ලොකු හාමුදුරුවෝ කිව්වා.

ඉතින් අද සමාජයේ සාමණේර හිමිවරු අඩු කාලේ සම්පතක් වගේ ඉන්න මේ අයව රැක ගන්න එයාලට ඉගෙන ගන්න උවමනා දේවල් මෙන්ම අනිත් අවශ්‍යතා සපුරන්න හිතා ගත්තා. මේ සඳහා පුර්ණ දායකත්වය දක්වන්නේ Niwanthi Fernando අක්කා. ඉතින් කාලයේ අවශ්‍යතාවයකට උර දෙන්න අපි තීරණය කළා. සාමනේර හිමිවරු දෙදෙනා ඉගෙනගෙන අවසන් වන තුරු අවශ්‍ය සියලුම දේ ලබා දීමට අප ලොකු හාමුදුරුවන්ට පොරොන්දු උනා. උන් වහන්සේ ගොඩාක් පින් දුන්නා.

දරුවෙක් සසුනට පුජා කරන එක හතර වරිගයම නිවන් දකින්න හේතු වන පිනක්. ඒ වගේම උතුම් කටයුත්තක් වන උන් වහන්සේලා රැක ගැනීමට උර දුන් නිවන්ති අක්කේ ඔබට මේ පිනම ඇති නිවන් දකින්න. මේ සිදු කළා වූ කුසලයේ බලයෙන් ඔබටද ඔබ පවුලේ සියලු දෙනාටමද නිදුක් නිරෝගී සැපවත් ජිවිත අත්වේවා. අවසානයේදී නිර්වාණ සුවයට මෙම පින් හේතු වාසනා වේවා.

ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් පරප්පුදූව ආරණ්‍ය සේනාසනයට ලීටර් 500ක ජල ටැංකියක් පූජා කිරීම | Project Water

ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් පරප්පුදූව ආරණ්‍ය සේනාසනයට ලීටර් 500ක ජල ටැංකියක් පූජා කිරීම | Project Water

ගාල්ල, දොඩම්දූව පිහිටි මේ ආරණ්‍ය සේනාසනයේ වැඩ ඉන්න භාවනායෝගී භික්ෂූන්වහන්සේලාට පානීය ජලය එක් රැස්කර තබාගැනීම සඳහා අද අපි ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් Slon PE+ 500l Water Tank එකක් පූජා කලා. ලඟක කොහෙවත් ටැංකි ගන්න තිබුණේ නැහැ. ඉන්පසු හික්කඩුවෙන් අපි ලෑන්ඩ් මාස්ටර් එකක තමා ටැංකිය ගෙනවේ. දූපතට අරන් ගියේ බෝට්ටුවෙන්. එතැන් පටන් ආරණ්‍යයට දිනේෂ් එය ඔසවගෙන ගියා. ස්වාමීන්වහන්සේ බොහොමත්ම පිං දුන්නා මේ පුණ්‍යකර්මය පිළිබඳව.
දායකත්වය දැක්වූ සැමටම මේ කුසල කර්මය නිර්වාණ සම්පත්තියටම හේතු වාසනා වේවා…
Hemal Matarage අයියත්, Dinesh Kumaraත් අද මේ පිංකමට ශ්‍රමයෙන් දායක වුණා…. ඔබ දෙපලටත් බොහොම පිං.

වැඩි විස්තර, දායකයින්ගේ විස්තර සහ ඡායාරූප බලාපොරොත්තු වන්න.

Project Water | Water for Temples

An idea by Danesh Maduranga Edirisooriya
Project of SamajaSathkara.lk