loader image
Select Page
ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ සැත්කමෙන් පසු නැවතත් වාට්ටුවට

ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ සැත්කමෙන් පසු නැවතත් වාට්ටුවට

හෘද රෝගයක් හේතුවෙන් දැඩිලෙස ගිලන්ව සිටි පිංවත් ආරණ්‍යවාසී ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ පසුගිය අප්‍රේල් 27 උදෑසන 7.30ට හෘද උරස් ශල්‍ය දැඩි සත්කාර ඒකකයට (ITICU) සැත්කම සඳහා ගනු ලැබුවා. දින තුනක් උන්වහන්සේට ICU එකෙහි ප්‍රතිකාර කරනු ලැබුවා.

උන්වහන්සේගේ භාරකාරිත්වය මා මත තිබෙන නිසා උන්වහන්සේ ICU එකෙන් වාට්ටුවට මාරු කිරීමට මාගේ පැමිණීම අවශ්‍ය වුණා. සවස 6ට මමත් නිමාෂා නංගිත් ආසිරි ශල්‍ය රෝහලට පැමිණ අවශ්‍ය කටයුතු සිදුකලා.

උන්වහන්සේව රෝහළේ නිළධාරීන් විසින් ICU එකෙහි සිට වාට්ටුවට එක්කරගෙන එන තෙක් මමත් නිමාෂා නංගිත් උන්වහන්සේගේ කාමරය පිළියෙල කිරීම සහ උන්වහන්සේ ශල්‍යාගාරය තුළදී භාවිතා නොකරන ලද සිවුරු ආදිය පිළිවෙලට ඇසිරීම සිදුකලා.

උන්වහන්සේ කාමරයට එක්කරගෙන ආවේ රෝද පුටුවකින්. බොහොම අපහසුවෙන් තමා හිටියේ. ඇඳේ තබනවාට වඩා වැඩිවේලාවක් පුටුවක වාඩි කර තබන්න කියල ඔවුන් උපදෙස් දුන්නා. උන්වහන්සේ “හරිම වේදනයි මහත්තයා, ඉන්න බෑ, අතත් කපලා, කකුලත් කපලා” කියනකොට ඇස් වලට කඳුළුත් ආවා.

අප පැමිණ සුළු මොහොතකින් උපස්ථායක ස්වාමීන්වහන්සේද වැඩම කලා. ස්වාමීන්වහන්සේට රෝහළෙන් ලබාදෙන දානය වළඳන්න වැඩි පිරියක් නැහැලු. ගොඩක් වෙලාවට ලුණු, මිරිස් වගේ දේවල් වල වෙනසක් වෙනවනේ රෝහලේ ආහාර වල. ඉතිං අපි හිතුවා ෆේස්බුක් එකේ ආසිරි රෝහලට කිට්ටුව ඉන්න මගේ යාලුවන්ගේ උදව්වෙන් ඉදිරි දින 2 තුළ ස්වාමීන්වහන්සේලා දෙනමට දානය පිළියෙල කර පූජාකිරීමට.

හෙට උදෑසන දානය මමත් නිමාෂා නංගිත් පිළියෙල කිරීමට තීරණය කලා. උන්වහන්සේට වළඳන්න පුලුවන් කීවේ රතු කැකුළු බත්, හාල්මැස්සෝ, කරෝල (මිරිස් අඩුවෙන්), කොස් ඇට ව්‍යංජනයක්, රොටී, සීනි කෙසෙල්, කිලෝ පේර වැනි ආහාර තමයි.

ඉතිං පැය 1 1/2ක පමණ කාලයක් උන්වහන්සේ සමඟ රැඳී සිට අපි එන්නට පිටත්වුනේ හෙට දානය පිළියෙල කිරීමට අවශ්‍ය කළමනා ගැනීමටයි. අපි පිටත් වෙන විට වේලාව රාත්‍රී 7.30ට පමණ ඇති.

ඇත්තෙන්ම අද ඉතා වෙහෙසකර දවසක්. ඊයේ පාන්දර නිදාගන්නකොට 2ට ඇති. ආපසු 5ට නැගිටලා දිවුලපිටිය අවුරුදු උත්සවයට පිටත් වුණා අපේ කණ්ඩායමේ අය. එය 2ට අවසන් වෙලා නැවත කොළඹට එනවිට සවස 4.30යි. ඒ ආ සැනින් තමා රෝහළට ගියේ.

මේ වෙන තෙක් සහය වූ මාගේ සියලුම ෆේස්බුක් මිතුරු මිතුරියන්ට බොහොමත්ම පිං… ඒ කුසලය ඔබ සැමට නිවන් අවබෝධය පිණිසම හේතුවාසනා වේවා.

ඔබවහන්සේට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා…

ඔබ වහන්සේගේ සියලු පැතුම් ඉටුවේවා.
දීර්ඝායුෂ ලබා සියවසක්‌ ජීවත්වීමේ වාසනාව
උදාවේවා. තෙරුවණ් සරණයි…

ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ ආසිරි ශල්‍ය රෝහලට ඇතුලත් කලා

ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ ආසිරි ශල්‍ය රෝහලට ඇතුලත් කලා

හෘද රෝගයක් හේතුවෙන් දැඩිලෙස ගිලන්ව සිටින පිංවත් ආරණ්‍යවාසී ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ අද දහවල් 2ට ආසිරි ශල්‍ය රෝහලට බයිපාස් සැත්කමක් සිදුකිරීම සඳහා ඇතුලත් කිරීම සිදුකලා.

ඔබ වහන්සේගේ සියලු රෝගයන් ද සියලු ශෝකයන් ද සියලු උවදුරු ද, සියලු දුක්‌ දොම්නස්‌ ද දුරුවේවා.

හදවත් සැත්මක සාර්ථක වේවා…

ඔබ වහන්සේගේ සියලු පැතුම් ඉටුවේවා.
දීර්ඝායුෂ ලබා සියවසක්‌ ජීවත්වීමේ වාසනාව
උදාවේවා. තෙරුවණ් සරණයි…

අඩුපහසුකම් සහිත විහාරස්ථාන දෙකක ස්වාමීන්වහන්සේලාට සිවුරු පිරිකර පූජා කල ෆේස්බුක් මිතුරෝ

අඩුපහසුකම් සහිත විහාරස්ථාන දෙකක ස්වාමීන්වහන්සේලාට සිවුරු පිරිකර පූජා කල ෆේස්බුක් මිතුරෝ

මොණරාගල දිස්ත්‍රික්කයේ, වැල්ලවාය හඳපානාගල ප්‍රදේශයේ කි.මි. 25ක් පමණ ප්‍රධාන මාර්ගයේ සිට ඇතුලට වන්නට පිහිටි අශෝකාරාම විහාරය ඉතාම දුෂ්කර අඩු පහසුකම් සහිත පන්සලක්. ඒ වාගේම ඓතිහාසික කනබිසවාරාම විහාරස්ථානයත් පුරාණ අඩු පහසුකම් සහිත පන්සලක්. ඉතින් අපි පසුගිය දිනක මේ ප්‍රදේශයේ සිදුකල සෙනෙහසේ චාරිකාවකදී විහාරවාසී ස්වාමින් වහන්සේලා වෙනුවෙන් අවශ්‍යවන වස්ත්‍ර පුජාවක් සිදු කළා.

එහිදී අප විසින් සිවුරක්, අඳනයක්, හා බඳ පටියක් සහිත කට්ටලයක් එක් එක් ස්වාමින් වහන්සේලා වෙනුවෙන් වෙන වෙනම ස්වාමින් වහන්සේලා තුන් නමක් වෙනුවෙන් පුජා කිරීම සිදු කළා. ප්‍රදේශයේ දුෂ්කරතාවය හා එහි වැසියන්ගේ දිළිඳු කම අනුව ඔවුනට ස්වාමින් වහන්සේලා වෙනුවෙන් නිතරම මෙවැනි පිරිකර පුජා කිරීමට හැකියාවක් නැහැ. ඉතින් අප සිදු කල මේ වස්ත්‍ර පුජාව ගොඩාක් ප්‍රයෝජනවත් බව උන් වහන්සේලා සියලු දෙනාම අපට දේශනා කර සිටියා. ඒ වාගේම ගොඩාක් පින් දුන්නා. වස්ත්‍ර පුජා කිරීම දිව සළු පිලි පහල වීමට හේතු වන බව බුද්ධ දේශනාවේ සදහන් වෙනවා. ඉතින් මේ සිදු කල පිංකම නිසා සහබාගි වූ ඔබට ඒ කුසලය අනුමෝදන් වේවා.

මෙම පිරිකර පුජා කිරීමට දායකත්වය දක්වනු ලැබුයේ Chamila Prasanna මිතුරා හා Buddhika Perera මිතුරා විසිනි. චමිල අයියා සහ බුද්ධික අයියා පවුලේ සැමට ආශිර්වාද පතා තමයි මේ පිංකම සිදුකලේ.

ඉතින් ඔබලාට මේ කර ගත්තාවූ කුසලය අනුමෝදන් වේවා. ඔබටත් ඔබ පවුලේ සියලු දෙනාටත් මේ කුසලයේ ආනුභාවයෙන් නිදුක් නිරෝගී සැපවත් ජිවිත අත් වේවා. අවසානයේ නිවන් මාර්ගය සාක්ෂාත් වීමට මේ පින් හේතු වාසනා වේවා. දැකබලා සතුටුවන ඔබ සැමටද මේ පින අනුමෝදන් වෙත්වා..

විහාරස්ථානයකට ඈම්ප් එකක් පූජා කිරීම | Donating an Amplifier (දිවා රෑ පිං වැඩෙන පිංකම්)

විහාරස්ථානයකට ඈම්ප් එකක් පූජා කිරීම | Donating an Amplifier (දිවා රෑ පිං වැඩෙන පිංකම්)

මොණරාගල, බඩල්කුඹුර ශ්‍රී බෝධිරාජාරාමයට ඈම්ප් එකක අවශ්‍යතාවය තිබුණා. අපිට ඒ පිලිබඳව දැනුම් දුන්නේ මාගේ ෆේස්බුක් මිතුරෙක් වන Jayantha Ruwansiri අයියා. එනිසා අප විසින් එම විහාරස්තානයට එම ඈම්ප් එක සහ ස්පීකර්ස් කට්ටලය පූජා කිරිමට තිරණය කලා. එක් අතකින් මෙය සම්බුද්ධ ශාසනය වෙත සිදු කරන ශබ්ද පූජාවක්ද වෙනවා. පිරිත් ශ්‍රවණයද කාලීන අවශ්‍යතාවයක් වෙනවා.

ඊයේ, පෙබරවාරි 26 වෙනි දින සමාජසත්කාර කණ්ඩායම විසින් විහාරස්ථානයට PA Amplifier + Digital Player, 2± Speakers & Microphone, Cable සහ අනෙකුත් ඒ සඳහා අවශ්‍ය දේවල් පරිත්‍යාග කලා.

මෙමගින් උදෑසන හා සවස පිරිත් දේශනා සැමටම ඇසෙන සේ සැලැස්විම, පොහෝ දින පින්කම් වලදී ප්‍රයෝජනයට ගැනීම, විශේෂ පින්කම් වලදී ප්‍රයෝජනයට ගැනිම ආදියට මෙය භාවිතා කරන්න බලාපොරොත්තු වෙනවා කියලා පන්සලේ ස්වාමීන්වහන්සේ අපිට දැනුම් දුන්නා. උන්වහන්සේ අපව පංචසීලයේ පිහිටවා උදව් වූ සැමට පුණ්‍යානුමෝදනාවක්ද සිදුකලා.

මේ පිංකමට සම්බන්ධ වූ ඔබ සැමට බොහොමත්ම පිං. මේ කුසලය නිර්වාණ සම්පත්තියටද හේතුවාසනා වේවා. දැකබලා සතුටුවන ඔබටද මේ පිංකම අනුමෝදන් වෙත්වා.

තෙරුවණ් සරණයි…

අටවිසි බෝධීන් වහන්සේලා වැඩම කරවීමේ සහ රෝපණය කිරීමේ පිංකම – පාදම් ගොඩනැගීම සහ පෝච්චි නිර්මාණය

අටවිසි බෝධීන් වහන්සේලා වැඩම කරවීමේ සහ රෝපණය කිරීමේ පිංකම – පාදම් ගොඩනැගීම සහ පෝච්චි නිර්මාණය

(සමාජසත්කාර.lk නිකිණි පොහෝදින පිංකම 2016)

මාතලේ දිස්ත්‍රික්කයේ පලාපත්වල ප්‍රදීපාරාම කන්දේ විහාරයට අටවිසි බෝධීන්වහන්සේලා වැඩම කර රෝපණය කිරීමේ පිංකමක් නිකිණි පොහොය වෙනුවෙන් පවත්වන්නට අපි බලාපොරොත්තු වෙනවා කියලා පසුගිය ජූනි 6 වෙනිදා අපි ඔයාලට කීවනේ. අපි එදිනම ආරම්භ කලා බෝධීන්වහන්සේලා සොයන්න සහ පෝච්චි හදවන්න. අපි දැන් සියලුම බෝධීන්වහන්සේලා සොයාගෙන අවසන්. 
මේ බෝධින් වහන්සේලා රෝපණය කිරීමට විශාල ප්‍රමාණයේ පෝච්චි අවශ්‍ය අතර ඒවා අපගේ අවශ්‍යතාවය අනුව සැකසීමට එකකට දින 2 බැගින් දින 56ක් ගතවුණා. පන්සලේ ඉඩකඩ නොමැති නිසා ගල් තලාවක සිමෙන්ති පාදම් සකස් කර ඒ මත පෝච්චි තැන්පත් කර මේ බෝධීන් වහන්සේලා රෝපණය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒවාගේ පාදම්ද තරමක් දුරට සදලා අවසන්. අපහසුම කාර්යය තමා මේ පෝච්චි කන්ද උඩ ගල් තලාවට අරන් යන එක. 6 දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක සේවය මේ සඳාහා අපි මුදල් ගෙවා ලබාගත්තා…
මේ සඳහා අපේ කණ්ඩායමේ Kumudini Basnayaka අක්කා සහ Saman Kulathunga අයියා ලොකු සහයෝගයක් ලබාදෙනවා.
ස්වාමීන්වහන්සේගේ ආශිර්වාදයද අපිට ලබාදුන්නා.

වැඩි දුරටත්…

බුදුදහමේ සඳහන් තොරතුරු අනුව බුදුරජාණන් වහන්සේලා බුද්ධත්වයට පත් වීමේදී වෘක්ෂයන්ගේ සෙවණ ලබා ගෙන ඇත. බුදුරජාණන් වහන්සේලා විසි අට නමක් බුද්ධත්වයට පත් වීමේදී සෙවණ ලබා දී ඇති බැවින් මෙම බෝධි වෘක්ෂ අට “අට විසි බෝධි වෘක්ෂ” නමින් හැඳින්වේ.

ශාක විශේෂ වශයෙන් සැලකීමේදී, අටවිසි බුදුරජාණන් වහන්සේලා විසින් ශාක විශේෂ විසි දෙකක් උපයෝගී කරගෙන ඇත. එනම්, බුදුන් වහන්සේලා කිහිප නමක් එකම ශාක විශේෂය භාවිත කර ඇත. මංගල බුදුහිමි, සුමන බුදු හිමි, රේවත බුදු හිමි සහ සෝභිත බුදු හිමි නාග බෝධිය (නා ගස) ද පදුම බුදු හිමි සහ නාරද බුදු හිම මහාසෝණ බෝධිය (මුරුත ගස) ද කොණ්ඩඤ්ඤ බුදු හිමි සහ වෙස්සභු බුදු හිමි සාල කළ්‍යාණ බෝධිය (ඉන්දියානු සල් ගස) ද සරණංකර බුදු හිමි සහ විපස්සි බුදුහිම පාඨලී බෝධිය (පලොල් ගස) ද භාවිත කර ඇත.

පහත සඳහන් කර ඇති බෝධි වෘක්ෂ අතරින් ඉන්දියානු සල් සහ අසන වෘක්ෂ පමණක් ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතිවල දැකිය නොහැකි අතර විශේෂයෙන් රෝපණය කර ඇති විහාරස්ථාන සහ උද්හිද උද්‍යානවල ඇත. මෙම ශාක ඉන්දියාවේ සහ නේපාලයේ ස්වභාවික වනාන්තරවල පවතී.

අටවිසි බෝධීන් වහන්සේලා…

01) තණ්හංකර බුදුහිමි – රුකත්තන බෝධිය
02) මේධංකර බුදුහිමි – පත්කැළ බෝධිය
03) සරණංකර බුදුහිමි – පුලිල බෝධිය
04) දීපංකර බුදුහිමි – නෙරළු බෝධිය
05) කොණ්ඩජ්ජ්ය බුදුහිමි – සල්කලන බෝධිය
06) මංගල බුදුහිමි – නා බෝධිය
07) සුමන බුදුහිමි – නා බෝධිය
08) රේවත බුදුහිමි – නා බෝධිය
09) සෝභිත බුදුහිමි – නා බෝධිය
10) අනෝමදස්සී බුදුහිමි – කුබුක් බෝධිය
11) පදුම බුදුහිමි – මුරුත බෝධිය
12) නාරද- මුරුත බෝධිය
13) පදුමුත්තර බුදුහිමි – සල් බෝධිය
14) සුමේධ බුදුහිමි – බක්මී බෝධිය
15) සුජාත බුදුහිමි – උණ බෝධිය
16) පියදස්සි බුදුහිමි – කුබුක් බෝධිය 
17) අත්තදස්සි බුදුහිමි – සපු බෝධිය
18) ධම්මදසසි බුදුහිමි – රත්කරව් බෝධිය 
19) සිද්ධාර්ථ බුදුහිමි – කිනිහිරි බෝධිය
20) තිස්ස බුදුහිමි – ගම්මාලු බෝධිය
21) පුස්ස බුදුහිමි – නෙල්ලි බෝධිය
22) විපස්සි බුදුහිමි – පලොල් බෝධිය
23) සිඛි බුදුහිමි – ඇටබ බෝධිය
24) වෙස්සබු බුදුහිමි – සල් බෝධිය
25) කකුසද බුදුහිමි – මාරා බෝධිය 
26) කොණාගම බුදුහිමි – දිබුල් බෝධිය
27) කස්සප බුදුහිමි – නුග බෝධිය
28) ගෞතම බුදුහිමි – ඇසතු බෝධිය

ඉත්තෑකන්ද ශ්‍රී රාජගිරි විහාරස්තානයේ බණ ශාලාවේ අබලන් වූ වහලය ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම

ඉත්තෑකන්ද ශ්‍රී රාජගිරි විහාරස්තානයේ බණ ශාලාවේ අබලන් වූ වහලය ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම

අද උදෑසනම අපි පන්සලට පැමිණියේ ධර්ම ශාලාවේ වහලය ප්‍රතිසංස්කරණ වැඩකටයුතු ආරම්භ කිරීමටයි. අප විහාරස්ථානයට පැමිණෙන විටද ගම්වාසීන් විශාල ප්‍රමාණයක් රැස්ව සිටියේ මෙම පිංකමට සහභාගී වීමටයි. පසුව චිරාගත සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව විහාරාධිපති ස්වාමීන්වහන්සේ විසින් පැමිණ සිටි පිරිස පංචසීලයේ පිහිටවන්නට විය. අනතුරුව උන්වහන්සේ විසින් කෙටි අනුශාසනාවක් සිදු කරන ලදි. ඉන්පසු සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ වහලයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන්නට විය. එම අවස්ථාවේදී විහාරස්ථාන භූමියට පිරිත් පැන් ඉස සෙත් පැතීමක්ද සිදු කරන ලදි. 
මෙය සතියක් ඇතුලත් පොසොන් පොහොයට කලින් නිම කිරීමට අවශ්‍ය බැවින් ඔබගේ දායකත්වය උපරිමයෙන් අවශ්‍ය වේ. අද දිනය ඇතුලතදී ඇස්තමේන්තුව සමග ව්‍යාපෘතියට අදාල පෝස්ට් එක පළකිරීමට අප සූදානම්.

මෙතෙක් කතාව….

සිංහරාජ වනාන්තරයේ පාමුල පිහිටි මනස්කාන්ත පරිසරයක පිහිටි රාජගිරි විහාරස්තානය දකින සියල්ලන්ගෙම සිත් ඇද ගන්නා දසුනකි. මෙය ඉතාම කුඩා අඩුපහසුකම් සහිත පන්සලක්. ආවාස ගෙය, ගන්ඨාර කුළුණ, බෝධිය සහ බණ ශාලාව හැරෙන්නට වෙන ගොඩනැගිළි නැහැ.
විහාරාධිපති උඩුහාවර රතනසාර හිමිපානන්ගේ අනුශාසකත්වය යටතේ අපි වෙසක් පුර පසලොස්වක පොහෝ දින බු.ව. 2560 සිහිකිරිම පිනිස ජය ශ්‍රී මහා බෝ සමිදුන්ගේ අංකුරයක් විහාරස්ථානය වෙත පෙරහැරකින් වැඩම කරවූවා. ඔබ මේ දකින්නේ එදින ගත් ඡායාරූපයි. 
බණශාලවේ වහලය තිබෙන්නේ ඉතාමත් අබලන් තත්වයේ. වෙසක් පොහෝදින 100කට ආසන්න පිරිසක් මෙහි සිල් සමාදන් වූවා. මේ ප්‍රදේශයේ වර්ෂයේ සෑම කාලයකදීම පවා තිබෙන්නේ වැහිබර කාලගුණයක්. වෙසක් පොහෝ දිනයේදීද අනෝරා වැස්සක් වැස්සා. ඒ වර්ෂාව අවස්ථාවේ තමා අපිට පෙනීගියේ මේ බණ මඩුවේ සැබෑ තත්වය. වහලයේ සෑම තැනින්ම වතුර බිංදු බිමට පතිත වෙනවා. උපාසක අම්මලා, තාත්තලා වර්ෂාව වැඩිවෙනකොට තැනින්තැන තෙමෙන්න පටන්ගන්නකොට පැදුරු එහා මෙහා කරගන්නවා. දානේ බෙදන්න ආපුඅය එහාට මෙහාට යනකොට වතුර පෑගිල බණ ශාලව එකම මඩ ගොඩක් වෙලා. නිදහසේ සිල් සමාදන් වෙන්න අවස්ථාවක් නැහැ. තැනින් තැන වතුර එකතු වීමට භාජන තියලා. ඒවා විඩෙන් විඩේ ඉවත් කරනවා. 
ඉතිං අපි හිතුවා පොසොන් පෝයට කලින් මේ වහලය ප්‍රතිසංස්කරණය කර දෙන්න. මේ උතුම් වූ කුසල කර්මයට ඔබටත් අද දවසේ දායක වෙන්න අවස්ථාව සලසා දෙන්න සූදානම්. අපි නැවතත් ඊයේ ඉත්තෑකන්දට පැමිණියේ ඒ සඳහායි. සම්බන්ධ වෙන්න කැමති අය කමෙන්ට් කරන්න. අද දිනයේ ව්‍යාපෘතියට අදාල පෝස්ට් එක දැමූ පසු ඔබට දැනුම් දෙන්නම්…

වැඩි විස්තර බලාපොරොත්තු වන්න…