loader image
Select Page

අද උදෑසනම අපි පන්සලට පැමිණියේ ධර්ම ශාලාවේ වහලය ප්‍රතිසංස්කරණ වැඩකටයුතු ආරම්භ කිරීමටයි. අප විහාරස්ථානයට පැමිණෙන විටද ගම්වාසීන් විශාල ප්‍රමාණයක් රැස්ව සිටියේ මෙම පිංකමට සහභාගී වීමටයි. පසුව චිරාගත සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව විහාරාධිපති ස්වාමීන්වහන්සේ විසින් පැමිණ සිටි පිරිස පංචසීලයේ පිහිටවන්නට විය. අනතුරුව උන්වහන්සේ විසින් කෙටි අනුශාසනාවක් සිදු කරන ලදි. ඉන්පසු සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ වහලයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන්නට විය. එම අවස්ථාවේදී විහාරස්ථාන භූමියට පිරිත් පැන් ඉස සෙත් පැතීමක්ද සිදු කරන ලදි. 
මෙය සතියක් ඇතුලත් පොසොන් පොහොයට කලින් නිම කිරීමට අවශ්‍ය බැවින් ඔබගේ දායකත්වය උපරිමයෙන් අවශ්‍ය වේ. අද දිනය ඇතුලතදී ඇස්තමේන්තුව සමග ව්‍යාපෘතියට අදාල පෝස්ට් එක පළකිරීමට අප සූදානම්.

මෙතෙක් කතාව….

සිංහරාජ වනාන්තරයේ පාමුල පිහිටි මනස්කාන්ත පරිසරයක පිහිටි රාජගිරි විහාරස්තානය දකින සියල්ලන්ගෙම සිත් ඇද ගන්නා දසුනකි. මෙය ඉතාම කුඩා අඩුපහසුකම් සහිත පන්සලක්. ආවාස ගෙය, ගන්ඨාර කුළුණ, බෝධිය සහ බණ ශාලාව හැරෙන්නට වෙන ගොඩනැගිළි නැහැ.
විහාරාධිපති උඩුහාවර රතනසාර හිමිපානන්ගේ අනුශාසකත්වය යටතේ අපි වෙසක් පුර පසලොස්වක පොහෝ දින බු.ව. 2560 සිහිකිරිම පිනිස ජය ශ්‍රී මහා බෝ සමිදුන්ගේ අංකුරයක් විහාරස්ථානය වෙත පෙරහැරකින් වැඩම කරවූවා. ඔබ මේ දකින්නේ එදින ගත් ඡායාරූපයි. 
බණශාලවේ වහලය තිබෙන්නේ ඉතාමත් අබලන් තත්වයේ. වෙසක් පොහෝදින 100කට ආසන්න පිරිසක් මෙහි සිල් සමාදන් වූවා. මේ ප්‍රදේශයේ වර්ෂයේ සෑම කාලයකදීම පවා තිබෙන්නේ වැහිබර කාලගුණයක්. වෙසක් පොහෝ දිනයේදීද අනෝරා වැස්සක් වැස්සා. ඒ වර්ෂාව අවස්ථාවේ තමා අපිට පෙනීගියේ මේ බණ මඩුවේ සැබෑ තත්වය. වහලයේ සෑම තැනින්ම වතුර බිංදු බිමට පතිත වෙනවා. උපාසක අම්මලා, තාත්තලා වර්ෂාව වැඩිවෙනකොට තැනින්තැන තෙමෙන්න පටන්ගන්නකොට පැදුරු එහා මෙහා කරගන්නවා. දානේ බෙදන්න ආපුඅය එහාට මෙහාට යනකොට වතුර පෑගිල බණ ශාලව එකම මඩ ගොඩක් වෙලා. නිදහසේ සිල් සමාදන් වෙන්න අවස්ථාවක් නැහැ. තැනින් තැන වතුර එකතු වීමට භාජන තියලා. ඒවා විඩෙන් විඩේ ඉවත් කරනවා. 
ඉතිං අපි හිතුවා පොසොන් පෝයට කලින් මේ වහලය ප්‍රතිසංස්කරණය කර දෙන්න. මේ උතුම් වූ කුසල කර්මයට ඔබටත් අද දවසේ දායක වෙන්න අවස්ථාව සලසා දෙන්න සූදානම්. අපි නැවතත් ඊයේ ඉත්තෑකන්දට පැමිණියේ ඒ සඳහායි. සම්බන්ධ වෙන්න කැමති අය කමෙන්ට් කරන්න. අද දිනයේ ව්‍යාපෘතියට අදාල පෝස්ට් එක දැමූ පසු ඔබට දැනුම් දෙන්නම්…

වැඩි විස්තර බලාපොරොත්තු වන්න…