loader image
Select Page

කෑමට ඇති අධික ලොල් බව නිසා බොහෝ දෙනෙක් ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා. අඩු ආයුෂයෙන් මැරෙන අවස්ථා තියෙනවා. සමහරුන් සොරකමට පෙළඹෙනවා. හොරෙන් කනවා. අධික ලොල් බව හේතුවෙන් මෙවැනි බොහෝ කරදරවලට බඳුන් වෙනවා. මෙයත් එබඳු කථාවක්.

අපගේ භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනයේ වැඩසිටින කාලයේ ආහාරයට අධික ලොල් බවින් යුතු භික්ෂුවක් සිටියා. මොහුගේ මේ අසාමාන්‍ය වූ ගිජුකම කැපී පෙනුනා. එතකොට භික්ෂූන් වහන්සේලා මොහුව භාග්‍යවතුන් වහන්සේ ළඟට කැඳවාගෙන ගියා. මේ භික්ෂුව ආහාරයට දක්වන දැඩි ගිජුකම ගැන සැල කළා. භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂුවගෙන් ඒ බව ඇසුවා.

“හැබෑ ද භික්ෂුව ඔබ ඔය කියන තරම් ම ආහාරයට ගිජු ද…? භික්ෂුව… ඔබ පෙර ආත්මෙකත් ඔහොම තමයි. ආහාරයට අධික ගිජුකම නිසා මරණයට පත්වෙන්ට සිදු වුණා…. නුවණැත්තා නිසා තමන්ට ඉන්ට ලැබුණු තැනත් නැති වුණා.”

එතකොට භික්ෂූන් වහන්සේලා ඒ භික්ෂුවගේ අතීත කථාව අසන්ට කැමති වුණා. එය කියාදෙන මෙන් භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. භාග්‍යවතුන් වහන්සේ මේ ජාතකය වදාළා.

“පින්වත් මහණෙනි, ගොඩාක් ඉස්සර කාලෙක බරණැස් පුරයේ බ්‍රහ්මදත්ත නම් නමින් රජ්ජුරු කෙනෙක් වාසය කළා. ඒ කාලේ බෝධිසත්වයන් පරෙවි යෝනියේ උපන්නා. ඒ දවස්වල බරණැස් නුවර මිනිස්සු පින් සලකාගෙන තැන් තැන්වල දහයියා පුරවපු කූඩු හදලා කුරුල්ලන් උදෙසා එල්ලුවා. බරණැස් සිටුවරයාගේ අරක්කැමියාත් තමන්ගේ කුස්සියේ දහයියා දමාපු කූඩුවක් එල්ලලා තිබ්බා. බෝසත් පරෙවියා එතැනයි වාසය කළේ. පරෙවියා උදෙන් ම ගොදුරු සොයාගන්ට පිටත් වෙනවා. සවස් වෙද්දී කූඩුවට එනවා.

එක දවසක් කපුටෙක් ඔය කුස්සිය ළඟින් ඉගිල යද්දී පිසින ලද මස් මාංශවල සුවඳ දැනුනා. ඒ ගැන දැඩි ආශාවක් හටගත්තා. ළඟ ම අත්තක වැසුවා.

“ම්… හොඳ මනාප සුවඳක් නොවැ… මාත් මොකා…ක් හරි උපායකින් මස් මාංශ කන්ට ඕනෑ…” කියලා හිතමින් ඉන්නකොට ඒ සවස් යාමේ බෝසත් පරෙවියා කුස්සිය ඇතුළට පියඹා යනවා දැක්කා. පහුවදා පරෙවියා ගොදුරු පිණිස කුස්සියෙන් පිටතට පියඹා ගියා. එතකොට කපුටත් පරෙවියා පස්සෙන් පියාඹන්ට පටන් ගත්තා.

“හා… හා… කපුටෝ… මේ මොකෝ…? මොකෝ… මගේ පස්සෙන් එන්නේ….”

“අනේ.. ස්වාමී… නුඹවහන්සේගේ ක්‍රියාකලාපය ගැන මං ගොඩාක් පැහැදුනා. මං කැමතියි තමුන්නාන්සේට උවටැන් කරන්ට.”

“මිත්‍රය… ඔබ ගොදුරට ගන්නේ වෙන දේවල්… මං ගොදුරට ගන්නේ වෙන දේවල්… ඒ නිසා ඔය උපස්ථාන හරියන්නේ නෑ…”

“අනේ ස්වාමී…. නුඹ වහන්සේ ගොදුරු සොයා යද්දී මාත් මගේ ගොදුරු සොයාගෙන යන්නම්. ඊට පස්සේ නුඹ වහන්සේ සමඟ ම යන්නම්.”

“හොඳයි… එහෙනම් අප්‍රමාදී ව කටයුතු කරන්ට” කියලා පරෙවියා ගොදුරු සොයාගෙන ගිහින් බීජ වර්ග අනුභව කළා. කපුටා වෙනම ගිහින් ලොකු ගොම පිඬක් ඩැගැගත්තා. එහි පිරී සිටිය පණුවන් කා කුස පුරවා ගත්තා. කපුටා බෝසත් පරෙවියා ළඟට ඇවිත් අවවාද කරන්ට පටන් ගත්තා.

“ස්වාමී…. ආහාර හොයන්ට ගොහින් සෑහෙන වෙලාවක් ගියා නොවැ…. ඔහොම ගොඩාක් කන එක තමුන්නාන්සේට හොඳ නෑ…” කියලා පරෙවියා කුස්සිය ඇතුළට පියඹා යද්දී කපුටත් ඒ පස්සෙන් ම ගියා. අරක්කැමියා මේක දැක්කා.

“හා… හා…. අපේ පරෙවියාට යාළුවෙක් ලැබිලා වගෙයි” කියලා කපුටා වෙනුවෙනුත් කූඩුවක් එල්ලුවා. එදා පටන් දෙන්නාම කුස්සියේ වාසය කළා.

දවසක් සිටුතුමාට බොහෝ මස් මාංශ ලැබුණා. එදා අරක්කැමියා කුස්සියේ තැන් තැන්වල ඒවා එල්ලුවා. කපුටාට මස් දැකලා ඉවසුම් නෑ…