loader image
Select Page

අදටත් සමහර උදවිය තමන්ගේ කටයුතු සාර්ථක වෙන්න කියල දෙවියන්ට භාරහාර වෙනවා. දේවදාන දෙනවා. ඇතැම් ආගම්වල අදටත් භාර ඔප්පු කිරීම පිණිස සතුන් මරා බිලි දෙනවා. ඒ මැරූ සතුන්ගේ මස් උයා දානෙ දෙනවා. බුද්ධකාලෙත් දඹදිව ඔය සිරිත තිබුනා.

ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනයේ වාසය කළේ. ඇතැම් වෙළඳ පිරිස් වෙළඳාම් පිණිස ඈත පළාතකට යන්න සූදානම් වෙද්දි ගමනට කලින් දෙවියන් උදෙසා බාරයක් වෙනවා. ඒ වෙනුවෙන් ඔවුන් ඒ ඒ දේවාලයට ගොහින් එළුවන් බැටළුවන් මරනවා. තමන් ගේ වෙළඳාම් කරගෙන කරදරයක් නැතුව ආපසු එන්න ලැබුනොත් ආයෙමත් මෙවැනි බිලි පූජාවක් කරනවා කියලා දෙවියන්ට පොරොන්දු වෙනවා. ඊට පස්සෙ වෙළඳාමට පිටත් වෙනවා. ඔවුන්ට කරදරයක් නැතිව වෙළහෙළඳාමත් සරුවට කරගෙන ආපසු එන්ට ලැබුනොත් හිතන්නේ දේවානුභාවයෙන් හැමදෙයක් ම හොඳින් සිදුවුන බවයි. ඒ නිසා බාරය ඔප්පු කිරීම පිණිස බිලිපූජාව ඉෂ්ට කරනවා.