loader image
Select Page

සාරාසැකි කල්ප ලක්ෂයක් පුරා සමතිස් පෙරුම්දම් සපුරා අපරිමිත පුණ්‍යානුභාවයෙන් යුතුව, දෙතිස් මහා පුරිස ලකුණින් සමලංකෘත පින් සිරුරක් දරා, සිද්ධාර්ථ ගෞතමයාණෝ ලුම්බිණි සාල වනයේදී පියුම් මතින් වැඩ සිහනද පතුරවමින් මෙලොව උපත ලද සේක. බුද්ධගයාවේ ජය ශ්‍රී මහා බෝධි මූලයේදී දස බිම්බර මරසෙන් පරදවා සව් කෙලෙසුන් නසා දසබල ඤාාණ, සිව් විසාරද ඤාාණ, නව අරහාදී සම්බුදු ගුණ සමුදායෙන් යුතු අනන්ත බුද්ධානුභාවයෙන් යුතුව ලොව්තුරා සම්මා සම්බුද්ධත්වයට පත් වී වදාළ සේක. බරණැස ඉසිපතන මිගදායේදී නිකෙලෙස් සම්බුදු හදමඩලින් පැන නැංගා වූ අසිරිමත් සිරි සදහම් දෙව් මිනිස් ලෝකයාට දායාද කරමින් දහම් සක ප්‍රවර්තනය කළ සේක. පන්සාලිස් වසරක් පුරා සදහම් අමා වැස්සෙන් අපමණ සත්වයන්ගේ සිත් සතන් නිවා සනසා සම්බුදු කිස නිමවා කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවර්තන නම් සාල වන උද්‍යානයේදී අනුපාදිසේස පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේක.

සම්බුදු පහසින් සුපූජනීයත්වයට පත් වූ ඒ උත්තම පුණ්‍ය භූමීන් වැඳපුදාගෙන ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයින් පහන් සංවේග උපදවාගත යුතු බව මහා පරිනිර්වාණ සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාරා ඇත්තේ ය.

“ආනන්දයෙනි, සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින්, දැකිය යුතු, සංවේගයට පත් විය යුතු මේ සතර ස්ථානයන් ඇත්තේ ය.

‘මෙහි තථාගතයන් වහන්සේ උපන් සේක.’ යි ආනන්දයෙනි, සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් දැක්ක යුතු, සංවේගයට පත් විය යුතු ස්ථානයක් ඇත්තේ ය.
(ඉධ තථාගතෝ ජාතෝති ආනන්ද සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවේජනීයං ඨානං)

‘මෙහි තථාගතයන් වහන්සේ අනුත්තර වූ සම්මා සම්බෝධිය විශිෂ්ඨ ඥානයෙන් අවබෝධ කළ සේක.’ යි ආනන්දයෙනි, සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් දැක්ක යුතු, සංවේගයට පත් විය යුතු ස්ථානයක් ඇත්තේ ය.
(ඉධ තථාගතෝ අනුත්තරං සම්මා සම්බෝධිං අභිසම්බුද්ධෝති ආනන්ද සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවේජනීයං ඨානං)

‘මෙහි තථාගතයන් වහන්සේ අනුත්තර වූ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන ලද්දේ ය’ යි ආනන්දයෙනි, සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් දැක්ක යුතු, සංවේගයට පත් විය යුතු ස්ථානයක් ඇත්තේ ය.
(ඉධ තථාගතේන අනුත්තරං ධම්මචක්කං පවත්තිතන්ති ආනන්ද සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවේජනීයං ඨානං)

‘මෙහි තථාගතයන් වහන්සේ අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑ සේක.’ යි ආනන්දයෙනි, සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් දැක්ක යුතු, සංවේගයට පත් විය යුතු ස්ථානයක් ඇත්තේ ය.
(ඉධ තථාගතෝ අනුපාදිසේසාය නිබ්බාන ධාතුයා පරිනිබ්බුතෝති ආනන්ද සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවේජනීයං ඨානං)

ආනන්දයෙනි, සැදැහැවත් භික්ෂූහු, භික්ෂුණීහු, උපාසකවරු, උපාසිකාවෝ, ‘මෙහි තථාගතයන් වහන්සේ උපන් සේක’ කියාත්, ‘මෙහි තථාගතයන් වහන්සේ අනුත්තර වූ සම්මා සම්බෝධිය විශිෂ්ට ඥානයෙන් අවබෝධ කළ සේක.’ කියාත්, ‘මෙහි තථාගතයන් වහන්සේ විසින් අනුත්තර වූ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන ලද්දේ ය’ කියාත්, ‘මෙහි තථාගතයන් වහන්සේ අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑ සේක’ කියාත් පැමිණෙන්නාහු ය. ආනන්දයෙනි, යම්කිසි කෙනෙක් චෛත්‍යය වන්දනා චාරිකාවේ සැදැහැ සිතින් යෙදී සිටියදී පහන් සිතින් කළුරිය කරන්නාහු ද ඒ සියල්ලෝ ම සුගති සංඛ්‍යාත දිව්‍ය ලෝකයෙහි උපදින්නාහු ය.”

මේ සියලු අසිරිමත් සංසිද්ධීන් සිදුවූයේ ජම්බුදීප නම් වූ ඉන්දියාවේ ය. එනමුත් වර්තමානයේදී ඉතිහාසයේ කිසි දිනෙක නො වූ විරූ අයුරින් විකෘති අර්ථකථන දෙමින් සම්බුද්ධ භූමිය වූ දඹදිව් තලයට ගරහමින් සැදැහැති බොදුනුවන් නොමග යවමින් බොහෝ අකුසල් රැස්කර ගන්නා පිරිසක් බෞද්ධයන් නාමයෙන් ම බිහිව සිටීම ජාතියේ මහත් අභාග්‍යයකි. ශාසන පරිහානියකි. සම්බුද්ධ දේශනාවන්ට විකෘති අර්ථකථන දෙමින් සත්‍ය වූ ඓතිහාසික ශාසනික සංසිද්ධීන් බැහැර කරමින් ඔවුන් මේ සිදුකර ගන්නේ ආර්ය උපවාද නම් බරපතල අකුසල කර්මය බව නොවැටහීම ඔවුන්ගේ ම අවාසනාවකි. මේ වනාහි “පින්වත් කස්සප, මාගේ බුදු සසුන විනාශ කරන අය බිහි වන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වණක් පිරිස තුළින් ම යි” යන සම්බුදු වදන්වල සත්‍යතාවය තහවුරු වීමයි.

එම නිසා ජම්බුදීප යන පාලි වචනය ජන් + බුද් + දීප යනුවෙන් ව්‍යඤ්ජනය ද විකෘති කොට, බුදුන් උපන් දීපය යනුවෙන් අර්ථය ද විපරීත කොට, බුදුරජාණන් වහන්සේ උපන්නේ ලංකාවේ යැයි කියමින් සිදුකරන ශාසන විලෝපනයට සැදැහැති බුද්ධිමත් ජනතාව කිසිසේත් මුළා නො විය යුතු ය. ජම්බුදීපය යනු දෙව් මිනිසුන්ගේ ශාස්තෘ වූ ගෞතම බුදුරජාණන් වහන්සේ උපන්, වැඩ සිටි, පිරිනිවන් පා වදාළ දඹදිව් තලය යි. සියලු බුදු, පසේබුදුවරු, සක්විති රජවරු පහළවන උත්තම දේශය යි.

එබැවින් සම්බුද්ධ දේශනාවන් තුළින් ම ත්‍රිපිටකයේ සඳහන් භාග්‍යවතුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයත්, පනවා වදාළ උතුම් විනය ප්‍රඥප්තීනුත් ඇසුරු කරගෙන අපි නිවැරදි නිගමනයන්ට එළැඹීම ඉතා වැදගත් ය. ‘බුදුරජාණන් වහන්සේ ඉපදුණේ, වැඩ සිටියේ, දහම් දෙසුවේ ලංකාවේ දී ය’ යන මතය කෙතරම් හරසුන්, අශාසනික, අසත්‍යය කරුණක්දැයි කියා එවිට සම්බුදු වදන් තුළින් ම පැහැදිලි වන්නේ ය. “මාගේ ශ්‍රාවකයින් ධර්මධර, විනයධර, ව්‍යක්ත, ප්‍රතිබල, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි යෙදෙන පිරිසක් වී, උපදින්නා වූ අශාසනික වැරදි මතවාද, ධර්ම විනය ඉස්මතු කොට මැඩ පැවැත්විය යුතුයි.” යන ශාස්තෘන් වහන්සේගේ අනුශාසනාව සිදු කළා වන්නේ ද එවිට ය.