loader image
Select Page
මරණභිරුක භික්ෂූ කෙණකුන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලදි

මරණභිරුක භික්ෂූ කෙණකුන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලදි

තවද මහපොළොවසේ විපුලවූ ගුණ ඇති තිලෝගුරු බුදුරජානන් වහන්සේ වේළුවනාරාමයහි වැඩ වසන සමයෙහි මරණභිරුක භික්ෂූ කෙණකුන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්

එක් භික්ෂූකෙණෙකුන් වහන්සේ රාත්‍රී ස්ථාන දිව්‍යස්ථාන චංක්‍රමන ස්ථානයට ගියතෙන පරඬලාපතත්වත් කොටුවක්වත් පක්‍ෂිකෙණෙකුන් අඬාපුවක් වත් අසා මරණභයින්න භිරුකව වාසය කරණ කල්හි මේ කථාව දම්සභාමණ්ඩපයේ රැස්වු මාළුවරුන් වහන්සේ කිය කියා වැඩඋන් තෙනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහණෙනි මා එන්නාට පූර්ව භාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා එපවත් අසා සර්වඥයන් වහන්සේ මහණෙනි මේ භික්ෂූහු දැන්මතුනොවෙයි පළමුත් මරණභයින් යුක්තව විසුවෝ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

ඒ කෙසේද යත්

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයෝ එක් ඊරියකසේ කුස පිළිසිඳගත් කල්හි නොබෝකලනින් වැදුහ. දෙවැනිව කුඩා ඌරුපැටියෙකුත් වැදූහ. ඌරු පැටියන් දෙන්නා තුරුල්ලේ ලාගණ ඊරිය වැදොත්තැනට මෑල්ලක් තමාගේ කපුසේනට ගොසින් කපුකඩාගෙණ එනතැනැත්තී ඊරිය වැදොත්තෙනට ආවා, ඊරිය තමා මරති යන භයින් පැටියන් දෙන්නා වැදොත්තදි පළාගියහ. මැලි ඌරුපැටියන් දෙන්නාගෙණ මහපැටියාට මහා ඩිලයෝය කුඩා පැටියාට කුඩාතුඩිලයෝයයි නම් තිබා ඌරු පැටියන් දෙන්නා පුත්‍ර ප්‍රේමයෙන් වඩන්නේය. එසමයෙහි රාසොඬුන් එක් දවසක් රා බී මාංශනොලැබ අසවල් මෑල්ලාගේ ගෙයි ඌරෝ ඇත. උන් අතින් ඇරගෙණ මරාකම්මැයි කියා අවුත් කියන්නාහ. මෑල්ල තොපගේ ගෙයි වඩන ඌරෝ ඈත අපගෙන් මිල ඇගෙණ උන්දෙවයි කීහ. මෑලි කියන්නී මාගේ දරුවන් දීපියා දමා සම්පත් ලබන්නේයයි කියා නොගිවිස්සා රා සොඬු මෑල්ල රා පොවා මත්කොට කියන්නාහු අපට ඌරන් දෙව්වැයි විචාළේය. මෑලි රා බී මත්ව යාපත දෙමි ඉනුත් මාගේ වැඩිමහළු තුඩිලයන් නොදෙමි කුඩා තුඩිලයන් දෙමි කීහ.

යහපතැයි මෑලි පුත්චුල්ල කුඩිලයෙනි මෑත එවයි අෟගාළූහ. බෝධිසත්වයෝ සිතන්නාහු මාගේ මෑනියෝ මෙතෙක් දවසක් පළමුවෙන් මට අඬාගාතොත් විනා චුල්ල තුඩිල්ලයන් අඬනොගාතිය අද යම්සේ මෑනියන්ට භයෙක් ඇතමැනවැයි සිතා මල තුඩිලයෙනි තොපගේ මෑනියෝ තොපට අඬගාතියි ඔබට යවයි කිව. යහපතැයි චුල්ල තුඩිලයෝ මෑනියන් සිටිනා තැනට වෙවුලා බෑනන් කරා ගියහ.

මහතුඩිලයෝ කින්දැයි විචාළකල මෑනියන් හා රා සොඬු වටකොට ගෙණ සිටිනියාවත් බත් ඔරු තිබූනියාවත් දැක භයින් ත්‍රස්තව දිවආමි කීහ. බෝධිසත්වයෝ මළනුවන්ට කියන්නාහු මල ඌරන් ගෝනන් මුවන් ආදීවූ සිව්පාවන් වඩන්නේ අනික් නිසා නොවෙයි යමෙක්වේලේ මරන්ටමය එසේ පැමිණ මරණට හිරුකවිමෙන් කම්කිම්දැයි කියන්නාහු අවවාද බරණැස් නුවර මුලුල්ලට සැලව ගිය හෙයින් රජ්ජුරුවන් හා නුවරවාසීන් එක්වී බෝධි සත්වයන් උන්නාවූ බැද්ද වට කොට ගත්හ. බෝධිසත්වයෝ මලනුවන්ට අවවාද කියන්නාහු මලනුවෙනි යහපත්ව පෑදී තිබෙන පැනෙන් ඉස්සෝදා නාහා ඇඟ කුණු ඇර පියව ශරීරයේ නොයෙක් සුගන්ධයන් ගාගනුවයි අවවාද කීහ. එවිට කුඩා කුඩිලයෝ කියන්නාහු අපගේ ඌරන්ගෙන් කුනුඅරවා වාසය කළ කෙණෙක් ඇද්ද.ශරීරයෙහි යහපත් සුගන්ධය ගෑ කෙණෙකුන් නැතිව ඉන්දදී බෑනන් වහන්ස. මේ කුමට කියන කාරණයෙක් දැයි විචාළාහ.

බෝධිසත්වයෝ එවිට මා කීයේ විලට බැස අකුසල් නැමති ශරීර මලය පහකොට කුසල් නැමති මනාවූ තොටට බැස නාහා සියලු දවස් ශරීරය නොහැර පවත්නාවූ සිල් නැමති සුගන්ධය ශරීර යේ ගල්වන්ට මා කියේ යයි කියා මලනුවෙනි යම් කෙනෙකුන් අකුසලයක් කෙරෙත් නම් ඊට සතුටූවිමෙන් දුක් බොහෝ දෙලොවටම පැමිණෙන්නේය. යම් කෙණකුන් කුසලයක් කෙරෙත් නම් ඊට සතුටු වීමෙන් දෙලොවම සැප ඵලවන්නේය. එසේ හෙයින් අකුසලය කරණ කෙණෙකුන්ටවත් සිතන කෙණෙකුන්ටවත් සතුටුවීමෙන් මරණාසන්නයෙහිත් සෙසු වේලෙහිත් මහාභය පැමිණෙන්නේය. එසේහෙයින් එසේවූ අකුසලය ශීල නමැති සුගන්ධය ශරීරයේ ගල්වා ගනුවයි කීය. බෝධිසත්වයන් බුද්ධවිලාසයෙන් ඉඳ කියන්නාවූ අවවාද රජ්ජුරුවා් අසා මහා සමාධිව බෝධිසත්වයන් යහපත් ඉනකඩකුත් අඳවා මාණික්‍යභරණයකුත් පලඳවා බෝධිසත්වයන් වැවු මෑල්ලටත් බොහෝ සම්පත් දී බෝධිසත්වයන් හා මලනුවන් ද බරණැස් නුවරට ගෙණගොස් රජගෙයි ඉන්නට සලස්වා සියලු අධිකරණ ආදීවූ යුක්ති අයුක්ති බෝධිසත්වයන් විචාරා මැදහත්ව නිශ්චයකොට සියලු මනුෂ්‍යයන්ට පන්සිල් අටසිල් ආදීවූ දානාධ්‍යසයෙහි පිහිටුවා අපායට යානොදි සුගතියට පමුණවන්නාහ. බොහෝ කලකින් බරණැස් රජ්ජුරුවෝ මළහ. බෝධිසත්වයෝ රජ්ජුරුවන්ට කළමනා ආදාහණ කෘත්‍යකොට නිමවා ඉක්බිති අධිකරණ ශාස්ත්‍රය බෝධිසත්වයෝ පොත් බලා ලියවා මේ නියාවට අධිකරණ ඉදිරියේ විචාරවයි කියා නුවරවාසීන් එක්කරවා බොහෝ මනුෂ්‍යයන්ට අවවාද කියා බෝධිසත්වයන් හා මලනුවෝ බොහෝ මනුෂ්‍යයන් අඬ අඬා සිටියදී තමන්ගේ පළමුවිසූ වනාන්තරයට ගියහ. එසමයෙහි බරණැස් රජ්ජුරැවෝ නම් ආනන්ද තෙරැන්ය. චුල්ලතුඩිලයෝ නම් මරණභීරැක භික්ෂුවය. මහ තුඩිලව උපන්නේ බුදුරජාණන් වහන්සේය.

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද?

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද?

සාරාසැකි කල්ප ලක්ෂයක් පුරා සමතිස් පෙරුම්දම් සපුරා අපරිමිත පුණ්‍යානුභාවයෙන් යුතුව, දෙතිස් මහා පුරිස ලකුණින් සමලංකෘත පින් සිරුරක් දරා, සිද්ධාර්ථ ගෞතමයාණෝ ලුම්බිණි සාල වනයේදී පියුම් මතින් වැඩ සිහනද පතුරවමින් මෙලොව උපත ලද සේක. බුද්ධගයාවේ ජය ශ්‍රී මහා බෝධි මූලයේදී දස බිම්බර මරසෙන් පරදවා සව් කෙලෙසුන් නසා දසබල ඤාාණ, සිව් විසාරද ඤාාණ, නව අරහාදී සම්බුදු ගුණ සමුදායෙන් යුතු අනන්ත බුද්ධානුභාවයෙන් යුතුව ලොව්තුරා සම්මා සම්බුද්ධත්වයට පත් වී වදාළ සේක. බරණැස ඉසිපතන මිගදායේදී නිකෙලෙස් සම්බුදු හදමඩලින් පැන නැංගා වූ අසිරිමත් සිරි සදහම් දෙව් මිනිස් ලෝකයාට දායාද කරමින් දහම් සක ප්‍රවර්තනය කළ සේක. පන්සාලිස් වසරක් පුරා සදහම් අමා වැස්සෙන් අපමණ සත්වයන්ගේ සිත් සතන් නිවා සනසා සම්බුදු කිස නිමවා කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවර්තන නම් සාල වන උද්‍යානයේදී අනුපාදිසේස පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේක.

සම්බුදු පහසින් සුපූජනීයත්වයට පත් වූ ඒ උත්තම පුණ්‍ය භූමීන් වැඳපුදාගෙන ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයින් පහන් සංවේග උපදවාගත යුතු බව මහා පරිනිර්වාණ සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාරා ඇත්තේ ය.

“ආනන්දයෙනි, සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින්, දැකිය යුතු, සංවේගයට පත් විය යුතු මේ සතර ස්ථානයන් ඇත්තේ ය.

‘මෙහි තථාගතයන් වහන්සේ උපන් සේක.’ යි ආනන්දයෙනි, සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් දැක්ක යුතු, සංවේගයට පත් විය යුතු ස්ථානයක් ඇත්තේ ය.
(ඉධ තථාගතෝ ජාතෝති ආනන්ද සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවේජනීයං ඨානං)

‘මෙහි තථාගතයන් වහන්සේ අනුත්තර වූ සම්මා සම්බෝධිය විශිෂ්ඨ ඥානයෙන් අවබෝධ කළ සේක.’ යි ආනන්දයෙනි, සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් දැක්ක යුතු, සංවේගයට පත් විය යුතු ස්ථානයක් ඇත්තේ ය.
(ඉධ තථාගතෝ අනුත්තරං සම්මා සම්බෝධිං අභිසම්බුද්ධෝති ආනන්ද සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවේජනීයං ඨානං)

‘මෙහි තථාගතයන් වහන්සේ අනුත්තර වූ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන ලද්දේ ය’ යි ආනන්දයෙනි, සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් දැක්ක යුතු, සංවේගයට පත් විය යුතු ස්ථානයක් ඇත්තේ ය.
(ඉධ තථාගතේන අනුත්තරං ධම්මචක්කං පවත්තිතන්ති ආනන්ද සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවේජනීයං ඨානං)

‘මෙහි තථාගතයන් වහන්සේ අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑ සේක.’ යි ආනන්දයෙනි, සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් දැක්ක යුතු, සංවේගයට පත් විය යුතු ස්ථානයක් ඇත්තේ ය.
(ඉධ තථාගතෝ අනුපාදිසේසාය නිබ්බාන ධාතුයා පරිනිබ්බුතෝති ආනන්ද සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවේජනීයං ඨානං)

ආනන්දයෙනි, සැදැහැවත් භික්ෂූහු, භික්ෂුණීහු, උපාසකවරු, උපාසිකාවෝ, ‘මෙහි තථාගතයන් වහන්සේ උපන් සේක’ කියාත්, ‘මෙහි තථාගතයන් වහන්සේ අනුත්තර වූ සම්මා සම්බෝධිය විශිෂ්ට ඥානයෙන් අවබෝධ කළ සේක.’ කියාත්, ‘මෙහි තථාගතයන් වහන්සේ විසින් අනුත්තර වූ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන ලද්දේ ය’ කියාත්, ‘මෙහි තථාගතයන් වහන්සේ අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑ සේක’ කියාත් පැමිණෙන්නාහු ය. ආනන්දයෙනි, යම්කිසි කෙනෙක් චෛත්‍යය වන්දනා චාරිකාවේ සැදැහැ සිතින් යෙදී සිටියදී පහන් සිතින් කළුරිය කරන්නාහු ද ඒ සියල්ලෝ ම සුගති සංඛ්‍යාත දිව්‍ය ලෝකයෙහි උපදින්නාහු ය.”

මේ සියලු අසිරිමත් සංසිද්ධීන් සිදුවූයේ ජම්බුදීප නම් වූ ඉන්දියාවේ ය. එනමුත් වර්තමානයේදී ඉතිහාසයේ කිසි දිනෙක නො වූ විරූ අයුරින් විකෘති අර්ථකථන දෙමින් සම්බුද්ධ භූමිය වූ දඹදිව් තලයට ගරහමින් සැදැහැති බොදුනුවන් නොමග යවමින් බොහෝ අකුසල් රැස්කර ගන්නා පිරිසක් බෞද්ධයන් නාමයෙන් ම බිහිව සිටීම ජාතියේ මහත් අභාග්‍යයකි. ශාසන පරිහානියකි. සම්බුද්ධ දේශනාවන්ට විකෘති අර්ථකථන දෙමින් සත්‍ය වූ ඓතිහාසික ශාසනික සංසිද්ධීන් බැහැර කරමින් ඔවුන් මේ සිදුකර ගන්නේ ආර්ය උපවාද නම් බරපතල අකුසල කර්මය බව නොවැටහීම ඔවුන්ගේ ම අවාසනාවකි. මේ වනාහි “පින්වත් කස්සප, මාගේ බුදු සසුන විනාශ කරන අය බිහි වන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වණක් පිරිස තුළින් ම යි” යන සම්බුදු වදන්වල සත්‍යතාවය තහවුරු වීමයි.

එම නිසා ජම්බුදීප යන පාලි වචනය ජන් + බුද් + දීප යනුවෙන් ව්‍යඤ්ජනය ද විකෘති කොට, බුදුන් උපන් දීපය යනුවෙන් අර්ථය ද විපරීත කොට, බුදුරජාණන් වහන්සේ උපන්නේ ලංකාවේ යැයි කියමින් සිදුකරන ශාසන විලෝපනයට සැදැහැති බුද්ධිමත් ජනතාව කිසිසේත් මුළා නො විය යුතු ය. ජම්බුදීපය යනු දෙව් මිනිසුන්ගේ ශාස්තෘ වූ ගෞතම බුදුරජාණන් වහන්සේ උපන්, වැඩ සිටි, පිරිනිවන් පා වදාළ දඹදිව් තලය යි. සියලු බුදු, පසේබුදුවරු, සක්විති රජවරු පහළවන උත්තම දේශය යි.

එබැවින් සම්බුද්ධ දේශනාවන් තුළින් ම ත්‍රිපිටකයේ සඳහන් භාග්‍යවතුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයත්, පනවා වදාළ උතුම් විනය ප්‍රඥප්තීනුත් ඇසුරු කරගෙන අපි නිවැරදි නිගමනයන්ට එළැඹීම ඉතා වැදගත් ය. ‘බුදුරජාණන් වහන්සේ ඉපදුණේ, වැඩ සිටියේ, දහම් දෙසුවේ ලංකාවේ දී ය’ යන මතය කෙතරම් හරසුන්, අශාසනික, අසත්‍යය කරුණක්දැයි කියා එවිට සම්බුදු වදන් තුළින් ම පැහැදිලි වන්නේ ය. “මාගේ ශ්‍රාවකයින් ධර්මධර, විනයධර, ව්‍යක්ත, ප්‍රතිබල, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි යෙදෙන පිරිසක් වී, උපදින්නා වූ අශාසනික වැරදි මතවාද, ධර්ම විනය ඉස්මතු කොට මැඩ පැවැත්විය යුතුයි.” යන ශාස්තෘන් වහන්සේගේ අනුශාසනාව සිදු කළා වන්නේ ද එවිට ය.

මරණානුස්සති භාවනාව

මරණානුස්සති භාවනාව

ඉපදුණා වූ සියලූම සත්වයෝ මරණයට පත්වන්නේය. දෙව්ලොවෙහි දෙවියන් ද, බඹලොවෙහි බ‍්‍රහ්මයන් ද, සතර අපා වැසි සත්වයන් ද, සියලූ මනුෂ්‍යයන් ද මරණයට පත් වන්නේ ය. ඉපදුණා වූ කිසිම සත්වයෙකුට මරණයෙන් ගැලවිය නොහැක. සියලූ දෙනාම මරණයට මුහුණ දිය යුතුය. කුමන මොහොතක කුමන කරුණකින් කෙසේ මරණය සිදුවේදැයි කිසිවෙකුට කිව නොහැක.

මවු කුස තුළදී ද, මවු කුසින් බිහිවන මොහොතේ දී ද, ළදරු කාලයේදී ද, ළමා කාලයේදී ද, තරුණ කාලයේ දී ද, මැදි වයසේදී ද, මහළු වයසේදී ද, ඕනෑම කෙනෙකු මරණයට පත්විය හැකිය. ඉපදුණා වූ කෙනෙකු මේ කාලයේදී මේ අයුරින් මරණයට පත් වේ යැයි කිසිවෙකුට කිව නොහැක. මරණයට පත්වීම කෙරෙහි වයස් භේදයක් නැත.

ධනවත් පුද්ගලයෝ ද, දුප්පත් පුද්ගලයෝ ද, උගත් පුද්ගලයෝ ද, නූගත් පුද්ගලයෝ ද, බලවත් පුද්ගලයෝ ද, දුබල පුද්ගලයෝ ද, කුලවත් පුද්ගලයෝ ද, කුලහීන පුද්ගලයෝ ද, ගුණවත් පුද්ගලයෝ ද, ගුණහීන පුද්ගලයෝ ද, රූපවත් පුද්ගලයෝ ද, විරූපී පුදගලයෝ ද, දක්ෂ පුද්ගලයෝ ද, අදක්ෂ පුද්ගලයෝ ද මරණයට පත්වන්නේ ය. මරණයට පත් වීම කෙරෙහි පුද්ගල භේදයක් නැත.

උදෑසන කාලයේ දී ද, දහවල් කාලයේ දී ද, සැන්දෑ කාලයේ දී ද, රාත‍්‍රී කාලයේ දී ද, ඕනෑම පිරිමියෙකු හෝ ඕනෑම ස්ත‍්‍රියක හෝ මරණයට පත් විය හැකිය. මරණයට පත්වීම කෙරෙහි කාල භේදයක් නැත.

දියෙහි ගිලීමෙන් ද, ගින්නට හසු වීමෙන් ද, වස විෂ ශරීර ගත වීමෙන් ද, මරණය සිදුවිය හැකිය. ලෙඩ රෝග නිසා ද, භූමි කම්පා – ජල ගැලීම් ආදී ස්වාභාවික විපත් නිසා ද, හදිසි අනතුරු නිසා ද, විෂ සතුන් දෂ්ඨ කිරීමෙන් ද, අමනුෂ්‍යයන් නිසා ද, වෙනත් අයෙකුගේ උපක‍්‍රමයක් නිසා ද, ආයුෂ ගෙවී යාමෙන් ද, ආහාර හිරවීමෙන් ද, ජලය හිරවීමෙන්, හුස්ම හිරවීමෙන් ද, පය පැටලී වැටීමෙන් ද මරණයට සිදුවිය හැකිය. මරණයට පත්වීම කෙරෙහි අවස්ථා භේදයක් නැත.

සියලු කෙලෙසුන් නැසූ, බුදුරජාණන් වහන්සේලා ද, පසේ බුදුරජාණන් වහන්සේලා ද, මහ රහතන් උතුමන් වහන්සේලා ද පිරිනිවන් පා වදාළ සේක. මග ඵල ලාභී උතුමෝ ද මරණයට පත්වූහ.

දවල් ගෙවී යන්නේ පුද්ගලයෙකුගේ ජීවිතය මරණය කරා ගෙන යමින් ය. ඉහළට ගත් ආශ්වාස වාතය, පහළට හෙලන කාලය තරම් ඉතා සුළු කාලයක් වත් ජීවත් වීමට හැකි වේ දැයි කිසිවෙකුට කිව නොහැකිය. ඒ අයුරින් ඉතා සුළු කාලයකදී පවා ඕනෑම අයෙකු මරණයට පත් විය හැකිය. ඉපදුණු සියලූ සත්වයන්ට, මරණය උරුම වූ දෙයකි. ජීවත් වන කාලය තුළ කුසල් දහම් දියුණු කළ යුතුය. සමථ විදර්ශනා වැඩිය යුතුය. සංසාර දුකින් මිදීම පිණිසම වෙර වීරිය කළ යුතුය. හිස ගිනිගත් අයෙකු ඒ ගින්න නිවීමට යම් සේ උත්සාහ කරන්නේ ද, වීරිය කරන්නේ ද, ඒ අයුරින්ම සංසාර දුකින් මිදීම පිණිසම නිතර වීරිය කළ යුතුය. අප‍්‍රමාදී විය යුතුය.

සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

බුදුරජාණන් වහන්සේ වදාළ සතිපට්ඨාන භාවනාවේ ධම්මානුපස්සනාවේ අවසාන කොටස් දැන් අපි ඉගෙන ගනිමින් සිටින්නේ. මේකෙ තියෙනවා සප්ත බොජ්ඣංග කියල කොටසක්. බොජ්ඣංග කියල කියන්නේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමේ අංග. චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමට උපකාර වන අංග හතක් තියෙනවා. ඒ හත තමයි සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. මේ ඔක්කොම ඔබ තුළ වැඩෙන්නේ සතිපට්ඨානය වැඞීම තුළ. සතිපට්ඨානය වැඩුවෙ නැත්නම් මේ බොජ්ඣංග ධර්ම ඔබතුළ වැඩෙන්නෙ නෑ.
අධිෂ්ඨාන කරල ලබන්න බැහැ….

එහෙම නම් පින්වතුනි, බොජ්ඣංග ධර්ම අධිෂ්ඨාන කරල, ”මට සති සම්බොජ්ඣංගය පහළ වේවා” කියල වඩන්නට පුළුවන් එකක් නෙවෙයි. ”මට ධම්මවිචය සම්බොජ්ඣංගය පහළ වේවා” කියල වඩන්නට පුළුවන් එකක් නෙවෙයි. ඒ විදිහට ප‍්‍රාර්ථනා කරල යමක් ලබන්නට පුළුවන් නම් අපට බුදුරජාණන් වහන්සේලා ඕනෙ නෑනෙ. අපට එහෙනම් සද්ධර්මය ශ‍්‍රවණය කරන්නට ඕනෙ නෑනෙ. එහෙනම් මහරහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාළ වෙලාවෙ ධර්මය සංගායනා කරල, ජීවිත පරිත්‍යාගයෙන් මේ ධර්මය ආරක්ෂා කරන්නට කැපවෙන්න ඕනෙ නෑනෙ. රහතන් වහන්සේලා බාරගත්තා ධර්මයේ කොටස්. දීඝ නිකාය ආනන්ද මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය පිරිස භාරගත්තා. මජ්ඣිම නිකාය සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය පිරිස භාරගත්තා. සංයුත්ත නිකාය මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය පිරිස භාරගත්තා. අංගුත්තර නිකාය අනුරුද්ධ මහ රහතන් වහන්සේගේ ශිෂ්‍ය පිරිස භාරගත්තා. එහෙම භාර ගත්තේ ධර්මය හදාරන්නට අවශ්‍ය නිසයි.

ධර්මයෙන් බැහැර වෙච්ච ප‍්‍රායෝගික දෙයක් නෑ. අත්දැකීමක් නෑ. යමක් ඔබ අවබෝධ කරනවද ඒක තමයි ධර්මයේ තියෙන්නෙ. යමක් ධර්මයේ තියෙනවද ඒක තමයි අවබෝධ කරන්නෙ. ඒ නිසා අවබෝධයයි ධර්මයයි එකයි. ඒක දෙකක් නෙවෙයි. ඒ නිසා යමෙක් සතර සතිපට්ඨාන ධර්මයන් මනා කොට ප‍්‍රගුණ කරගෙන යද්දී එයාට අවබෝධ වෙන්නේ සප්ත බොජ්ඣංග ධර්මයන්මයි.

සතර සතිපට්ඨානය තුළ ඉරියාපථ භාවනාව

සතර සතිපට්ඨානය තුළ ඉරියාපථ භාවනාව

දැන් ඔබ මේ වෙන කොට ආනාපානසති භාවනාව පිළිබඳවත්, හොඳ සිහි නුවණින් යුක්තව සෑම කටයුත්තක්ම කිරීම ගැනත් ඔබ ඉගෙන ගෙන තියෙනවා. ඊළඟට ඉගෙන ගන්නේ සක්මන් භාවනාව ගැන. සක්මන් භාවනාව විශේෂයෙන්ම ඔබ දැනගත යුතු එකක්. සක්මන් භාවනාව කියන්නේ ජීවිතයේ සිත දියුණු කිරීමට අතිශයින් ම වැදගත් වන එකක්. සමහර කෙනෙකුට සක්මනේදී තමයි ධර්ම කාරණා ගොඩක් අවබෝධ වෙන්නේ. සමහර විට සක්මන් කිරීමේදී අපට නීවරණ ධර්ම ඇතිවුණොත්, ඔබ ඒකට පසුබට වෙන්නෙ නැතිව, දිගටම සක්මන් කරන්න පුරුදු වෙන්න ඕනෙ.

නොපසුබස්නා වීර්යයක් තියෙන්න ඕනෙ…

බුදුරජාණන් වහන්සේගේ කාලෙ හොඳ සිදුවීමක් සිදුවුණා. එක ස්වාමීන් වහන්සේ නමක් භාවනා කළා. භාවනා කරද්දී උන්වහන්සේට හරි නිදිමතයි. නිදිමත තිබුණ කියල උත්සාහය අත්හැරියේ නෑ. දැන් අපට බොහෝ විට සිද්ධ වෙන්නෙ නිදිමත හැදුණාම ඒක කල්දානවා. බෑ කියනව. පස්සෙ කරනවා කියල අපි ඒක අත්හරිනවා. නමුත් මේ ස්වාමීන් වහන්සේ නිදිමත තියෙද්දි, අමාරුවෙන් අමාරුවෙන් සක්මන් කරන්න සක්මන් මළුවට ගොඩවුණා. සක්මන් භාවනාව කරගෙන යන කොට කොච්චර නිදිමතද කියන්නෙ, එහෙම්මම මේ ස්වාමීන් වහන්සේ සක්මන් මළුවෙ වැටුණා. සාමාන්‍ය කෙනෙකුට එහෙම වුණා නම්, එයා එතනම එක්කො නිදාගන්නවා. එක්කො ආපහු නැගිටල ගිහින් කුටියට ගිහින් නිදාගන්නව. ”මට නම් බෑ මේක කරන්න” කියල. අන්න බලන්න මේ වීරියක තියෙන වටිනාකම. මේ ස්වාමීන් වහන්සේ මොකද කළේ? නැගිට්ටා. වැලි පිසදැම්මා අතේ තිබිච්ච. හිතට ධෛර්ය ගත්තා. හොඳට සක්මන් කළා. ඉතින් උන්වහන්සේට පුළුවන් වුණා ඊළඟ මොහොතේ හිත එකඟ කරන්න.

හිත වේගයෙන් වෙනස් වෙනවා…

එතකොට බලන්න හිතේ ස්වභාවය මොකක්ද කියල. එක වෙලාවක නිදිමතෙන්, අලස බවෙන්, හිතෙන් පීඩා විඳපු හිතේ ස්වභාවය තමන් විසින් උපදවා ගත්තු වීරියෙන්, සිහියෙන් නැතිකරල දැම්ම. ඊට පස්සේ හොඳට සිත සකස් වුණා. මේකෙන් අපට පේනවා මේ හිතේ ස්වභාවය අපි හිතන ආකාරයට, ක‍්‍රියා කරන ආකාරයට හැදෙනව. එහෙම නම් සක්මන් කිරීමෙදි මේ ස්වභාවය එහෙම්ම ම යි.

අපි කියමු සක්මනේදි සිහියෙන් භාවනා කර කර හිටියා. දැන් ඔබ හොඳ සිහිකල්පනාවෙන් නැගිට්ටා. නැගිටල ඔබ සක්මන් කරල හිටගෙන වම දකුණ කිය කිය යන්න ඕනෙ නෑ. දැන් සමහරු කකුල ඔසවන කොට තබන කොට වම…. දකුණ…. වම….. දකුණ…. කියමින් යනවා. එහෙම නැත්නම් සමහරු ඔසවනවා…. ගෙනියනවා…. තබනවා…. කිය කිය යනවා. නමුත් එබඳු ආකාරයකට සිහි කරන්න කියල බුද්ධ දේශනාවක නෑ.