by Danesh Edirisooriya | Aug 7, 2019 | දහම් කරුණු
බුදු දහමේ මූලික සංකල්පයක් වන කර්මය පිළිබඳ ඉතා පැහැදිලි විවරණයක් මේ ලිපිය මගින් දැක්වේ.
.
කර්මය නම් චර්යාව පිළිබඳ හේතු-ප්‍රත්‍ය නියාමය යි. එහි සමගාමි සංකල්පය පුනර්භවය යි. කර්මය හා පුනර්භවය බුදු දහමේ මූලික ඉගැන්වීම් වශයෙන් එකිනෙක හා බැඳී පවතියි. බුදු රජාණන් වහන්සේ පහළ වීමට පෙර ද මේ ඉගැන්වීම් භාරතයේ පැවතිණි. එතකුදු වුවත්, අද අප හමුවේ පවත්නා ස්වරූපයෙන් පරිපූර්ණ ව විවරණය කළේත්, සකසා ඉදිරිපත් කළේත්, තථාගතයන් වහන්සේ විසිනි.
මිනිසුන් අතර දක්නා ලැබෙන අසමානත්වයට, විවිධතාවට හේතුව කවරේ ද? මේ විෂම ලෝකයේ පවත්නා අසමාන-අසාධාරණ තත්ත්වයට අප හේතු දක්වන්නේ කෙසේ ද? සමහරුන් අන්ත දුගී-දුප්පත් බවෙහි ගිලී අනන්ත දුක් විඳිද්දී, සමහරුන් විශිෂ්ට මානසික, සදාචාරමය හා කායික ලක්‍ෂණ ඇති ව ඉහළ ම සුඛෝපභෝගි ආකාරයෙන් ජීවත් වන්නේ ඇයි? යමකු මහමඟ හිඟාකන්නටත්, තව කෙනකු මහා ධන කුවේරයකු ලෙස උපදින්නටත් හේතුව කුමක් ද? කෙනකු සාධු ගුණයන්ගෙන් පරිපුෂ්ටවත්, තව කෙනකු අපරාධකාරී පාපිෂ්ඨ ලක්‍ෂණ ඇතිවත් උපදින්නේ ඇයි? සමහරුන් උපතින් ම භාෂා විශාරදයන්, කලාකරුවන්, ගණිතඥයන් හා සංගීතඥයන් වන්නේ කෙසේ ද? තවත් සමහරු උපතින් ම අඳ, ගොළු හෝ බිහිරි ව විකලාංග ඇති ව උපදින්නට හේතුව කිම? සමහරුන් උපතින් ම භාග්‍ය සම්පන්න වත් දී, සමහරුන් සාප ලද්දන් වන්නට කරුණු මොනවා ද?
මේ අසාධාරණයට එක්කෝ හේතුවක් තිබිය යුතු ය; නැත් නම් නැති විය යුතු ය. හේතුවක් නැත් නම් මේ විෂමතා අහේතුක ව, ඉබේ ම සිදු වන ඒවා ය. නුවණක් ඇති කිසිවකු මේවා හුදෙක් ඉබේ සිදු වන අහඹු දේ වශයෙන් නොපිළිගනු නියත ය.
මෙලොව කිසිවකුට, කවර ම හෝ හේතුවක් නිසා ඔහුට සිදු විය යුතු දෙයක් මිස වෙන යමක් සිදු වන්නේ නැත. එහෙත් සාමාන්‍යයෙන් නියම හේතුව හෝ හේතු පෘථග්ජනයන්ට තේරුම් ගැනීම පහසු නැත. ඇසට පෙනෙන ප්‍රතිඵලවල නියම අදිසි හේතුව මේ භවය ම සීමිත වූවක් නොවන්නට ඉඩ තිබේ. එය මෑත හෝ ඈත පෙර භවයකට සම්බන්ධ වූවක් විය හැකි ය. ඒ දැනගත හැක්කේ පෙර ආත්ම දැනගැනීමේ හා සත්ත්වයන්ගේ ආසයානුසය දැනගැනීමේ, චුති-උත්පත්ති දැනගැනීමේ උසස් අභිඤ්ඤා මගිනි. මනස දියුණු කළ අභිඤ්ඤාලාභීන්ට එසේ දැකගැනීමේ ශක්තිය තිබෙන බව බුදු දහම ප්‍රකාශ කර සිටියි.
මිනිසුන් අතර බොහෝ දෙනා මෙම මානව විෂමතාවට හේතුව මැවුම්කාර දෙව් කෙනකුගේ කැමැත්ත බව කියා සිටිති. සර්වබලධාරි උතුමකු වශයෙන් හෝ අහේතුක වූ විශ්ව ශක්තියක් ලෙස පවතින නිර්මාතෘ දෙවි කෙනකු පිළිබඳ විශ්වාසය බුදු රජාණන් වහන්සේ මුළුමනින් ම බැහැර කරති.
මෙම විෂමතාව පිළිබඳ ව නවීන විද්‍යාඥයන් දරන මතය කුමක් ද? ඉඳුරන් මගින් ලබන දැනුමට ම සීමා වන ඔවුහු එය භෞතික-රසායනික හේතු මත, ආරය හා පරිසරය මත සිදු වන බව කියා සිටිති. සුප්‍රකට ජීව විද්‍යාඥයකු වූ ජූලියන් හක්ස්ලි මෙසේ ලියා ඇත:
“සමහර ජාන වර්ණය නිශ්චය කරයි. තවත් සමහරක් උස හා බර ද සවි බල හෝ දුබලකම ද, හැඩ-රුව හා පරිමාව ද නිශ්චය කරයි. සමහර විට සියලු හෝ නියතයෙන් ම බොහෝ ප්‍රවේණි ලක්‍ෂණ ජාන මගින් ම තීරණ වෙයි. මානසික ලක්‍ෂණ සම්බන්ධයෙන් – විශේෂයෙන් ම සංකීර්ණ හා සූක්‍ෂ්ම ලක්ෂණ සම්බන්ධයෙන් සහතික ව ම එසේ කීම අපහසු වුව ද, ඒවා ආරයෙන් ම ලැබෙතැ යි කීමට බොහෝ සාධක තිබේ. කායික කරුණුවලින් පිට වෙනත් කිසියම් ක්‍රමයකින් ඒවා උරුම වෙතැ යි කීමට සාධකයක් නැත. අප විසින් උරුම කරගෙන ඇති කායික විශේෂතා හා පෞරුෂ ලක්‍ෂණ සංසේචන අවස්ථාවේදී ම අප ලද ජාන නම් වූ සංයුත්ත බල කෝෂය මත ම රඳා පවතියි.”
විද්‍යාඥයන් හෙළි කරන මේ රසායනික-භෞතික සංසිද්ධීන් එක්තරා දුරකට උපකාරී වන බව පිළිගත යුතු ව ඇතත්, පුද්ගලයන් අතර පවත්නා සියලු ම සියුම් විවිධතා ඒ නිසා ම සිදු වෙතැ යි පිළිගත හැකි ද? එක විදියේ ජාන උරුම කරගත්, කායික වශයෙන් සමාන, එක සමාන පරිසරයක හැදෙන වැඩෙන සර්ව සම නිවුන් දරුවන් එකිනෙකාට වෙනස් චිත්ත වේග, බුද්ධිය හා චර්යාවන් විද්‍යමාන කරන්නේ ඇයි?
මේ සියලු වෙනස්කම් හුදෙක් ආරය හේතුවෙන් ම සිදු වෙතැ යි කීම පිළිගත නොහැකි ය. නිවැරදි ව කිව හොත් සමානකම් බොහෝ දුරට ආරය මුල් කරගෙන විස්තර කළ හැකි වුව ද, අසමානකම්, එමගින් විවරණය වන්නේ නැත.
මවුපියන් වෙතින් උරුම වන අඟලකින් කෝටි තුනෙන් එක් පංගුවක් තරම් ප්‍රමාණ වූ මෙම අතිසූක්ෂ්ම රසායනික – භෞතික අංශුව මිනිසාගේ එක් කොටසක් වූ කායික අංශය පමණක් ව්‍යාඛ්‍යානය කරයි. වඩාත් සංකීර්ණ හා සූක්ෂ්ම වූ මානසික බුද්ධිමය හා චර්යාමය විශේෂතා පිළිබඳ ව අප මීට වඩා ප්‍රබුද්ධ විය යුතු ය. දිගු සදාචාර ඉතිහාසයක් ඇති හොඳ යහපත් පරපුරක අපරාධකරුවකු ඉපදීම, පාපයෙහි ම ගැලෙන පවුලක රහත් වීමට පිනැති දරුවකු ඉපදීම, ළමා හපනුන්, මහා ප්‍රාඥයන් හා ආගමික උතුමන් ආදීන්ගේ උපත් වැනි කරුණු ආරය පිළිබඳ න්‍යායය ඇසුරෙන් විවරණය කිරීම දුෂ්කර ය. ආරය පිළිබඳ මේ ගැටලු සම්බන්ධයෙන් අඥඪදජචපදචබඪධද නම් සිත් ගන්නා කෘතියෙහිදී පස්කාල් මහතා මෙසේ සඳහන් කරයි:
“ආරය පිළිබඳ ගැටලුවෙහි ලා බීජය විසින් ඉටු කරනු ලබන කාර්යය සම්බන්ධයෙන් නැවතත් කිය යුත්තේ එම භෞතික බීජය ඇසුරෙන් විවරණය කළ හැක්කේ මිනිසාගෙන් අඩක් පමණක් බව ය. ආරයෙහි භෞතික අංශය පිළිබඳ ව එයින් ආලෝකයක් සැපයෙන නමුත්, චර්යාව බුද්ධිය සම්බන්ධයෙන් එය අප අඳුරේ ම තබයි. එමගින් මුළු මිනිසා ම නියෝජනය වන්නේ නම්, ඕනෑ ම පුද්ගලයකු වෙතින් නිරූපණය විය යුත්තේ ඔහුගේ දෙමවුපියන්ගේ ගති ලක්‍ෂණ පමණි. වෙන කිසි ලක්‍ෂණයක් තිබිය නොහැකි ය. එම ගති ලක්‍ෂණ ද දෙමවුපියන් වෙත ඇති පමණට මිස ඊට වඩා අඩු වැඩි විය නොහැකි ය. එහෙත් බෙහෙවින් යහපත් පවුල්වල අපරාධකාරයන් උපදිනු අපි දකිමු. සමාජයේ අතිශයින් ම අධම පුද්ගලයන්ට ශාන්තුවර දරුවන් උපදිනු ද අපි දකිමු. එක ම බීජයකින් එකම කාල-දේශ තත්ත්වයන් යටතේ උපදින සර්වසමාන නිවුන් දරුවන් කායික ව එකිනෙකාට සම වුව ද එකකු සුරදූතයකු මෙන් ද අනෙකා යම දූතයකු මෙන් ද හැසිරෙනු ඔබ දැක ඇත. ආරය ගැන කතා කරන අයට සැලකිල්ලට ගන්නට ප්‍රමාණවත් වන තරමට ළමා-හපන්නු ඕනෑ තරම් වෙති. මේ ළමා හපන්නුන්ගේ පරම්පරාවල මේ අයගේ ප්‍රාතිහාර්යාත්මක කෞශල්‍යයන් විග්‍රහ කිරීමෙහිලා ආරමය සාධක වශයෙන් දැක්විය හැකි එක ද මුත්තෙක් හෝ මිත්තණියක් ලැබේ ද?
“මේ අතීතය පැත්තෙන් හේතුවක් දක්වන්නට ඇති බැරිකම සමඟ, මෝසාට්, බිතෝවන් හා ඩාන්ටේ වැනි උපතින් ම හපන්කම් දක්වන දරුවන් බිහි නොකිරීමේ සාධකය ද එකට ගත් විට, භෞතිකවාදයට තමන් පනවාගෙන ඇති සීමා තුළ ආරය පිළිබඳ කාරණය මනා ව විග්‍රහ කරන්නට බැරි බව අපට පිළිගන්නට සිදු වේ. එමෙන් ම ආරය හැම විට ම හරියන්නේත් නැත. බොහෝ ශාරීරික ලක්‍ෂණ නැවත පහළ වීමක් දක්නට නොලැබේ. භයානක කායික දුබලතා ඇති පවුල්වල බොහෝ දරුවෝ ඒවායින් තොර ව උපදිති. ඔවුන්ගෙන් පැවැතෙන්නන්ට ඒවා බලපාන්නට හැකි පරිදි රෝගී ලක්‍ෂණ ඔවුන්ගේ පටක තුළ සැඟවී තිබෙන්නට පුළුවන. අනිත් අතට අතිශයින් ම වෙනස් වූ මානසික ලක්‍ෂණ ඇති දරුවන් එක ම පවුලේ දක්නට ලැබීම ද වැදගත් ය. බොහෝ සිල්වත් දෙමවුපියෝ දරුවන්ගේ දුසිරිත් ගැන වැලපෙති. එහෙයින් ආරය සහ පරිසරය තම පොරොන්දුව ඉටු කිරීමට අසමත් වී ඇත කියා හෝ දෙන්නට තමන් වෙත නැති දෙයක් දෙන බව අපට පෙනී යයි.”
බුදු දහමට අනුව නම්, මේ අසමානතාවට හේතුව ආහාර හා පරිසරය පමණක් නො වේ. කම්ම නියාමයෙහි ක්‍රියාකාරිත්වය හෙවත් අප අතීතයෙහි කළ ක්‍රියාවලින් අප රැස් කරගත් උරුමය හා වර්තමාන ක්‍රියා කලාපයෙහි ප්‍රතිඵලය යි. අපේ දුක හා සැප පිළිබඳ වගකිව යුත්තෝ අපි ම වෙමු. අපේ දෙවිලොව හා අපේ අපාය අපි ම හදාගනිමු. අපේ ඉරණමෙහි නිර්මාතෘවරු අපි ම වෙමු.
මනුෂ්‍යයන් අතර පවත්නා විවරණය කිරීමට අපහසු අසමානත්වයට හේතුව කුමක් දැ යි දැනගනු රිසි වූ සුභ නම් වූ එක් සත්‍ය ගවේෂක තරුණයෙක් බුදු රජාණන් වහන්සේ හමුවට පැමිණ ඒ ගැන විමසී ය:
“ස්වාමීනි, මිනිසුන් අතර, සමහරුන් අල්පායුෂ්ක වන්නටත්, සමහරුන් දීර්ඝායුෂ්ක වන්නටත්, සමහරුන්ට ලෙඩ රෝග වැඩි වන්නටත්, සමහරුන්ට ලෙඩ රෝග අඩු වන්නටත්, සමහරුන් දුර්වර්ණව සිටිත් දී සමහරුන් පැහැපත් වන්නටත්, සමහරුන් අල්පේශාක්‍ය ව (දුබල ව) සිටියදී සමහරුන් මහේශාක්‍ය (ප්‍රබල) වන්නටත්, සමහරුන් දුගී දුප්පත් ව සිටිය දී සමහරුන් ඉතා පොහොසත් වන්නටත්, සමහරුන් පහත් ව උපදිත් දී සමහරුන් උසස් ව උපදින්නටත්, සමහරුන් මන්ද බුද්ධික ව උපදිත් දී, සමහරුන් ප්‍රඥාවන්ත ව උපදින්නටත් හේතුව කුමක් ද?
එයට පිළිතුරු වශයෙන් බුදු රජාණන් වහන්සේ මෙසේ දේශනා කළ සේක:
“සියලු සත්ත්වයෝ කර්මය තමාගේ (ධනය) කොට සිටිති; කර්මය දායාද කොට, කර්මය හේතු කොට, කර්මය ඥාතියා කොට, කර්මය පිළිසරණ කොට වසති. සත්ත්වයන් උසස්-පහත් වශයෙන් ප්‍රභේද කරන්නේ කර්මය විසිනි.”
අනතුරු ව උන් වහන්සේ කර්මය හා විපාකය පිළිබඳ නියාමයට අනුව එබඳු විෂමතා ඇති වන ආකාරය පිළිබඳ ව විවරණයක් කළහ.
යම්කිසි පුද්ගලයෙක් ප්‍රාණවධයෙහි යෙදෙයි නම් දඩයක්කාරයකු ව ලේ තැවරුණු අතින් මරමින්, හිරිහැර කරමින් ජීවීන් කෙරේ දයානුකම්පාවක් නැති ව ජීවත් වෙයි නම්, ප්‍රාණඝාතයෙහි විපාක වශයෙන් මිනිසුන් අතර උපදින විට අල්පායුෂ්ක වෙයි.
යමෙක් ප්‍රාණඝාතයෙන් වැළකී අවි ආයුධ ඉවත දමා සියලු සතුන් වෙත දයානුකම්පාවෙන් වසයි නම්, ඔහුගේ එම ප්‍රාණඝාත විරතියෙහි අනුසස් වශයෙන් මිනිසුන් අතර උපදින විට දීර්ඝායුෂ ලබයි.
යමෙක් අතින් පයින්, පොලුවලින් හෝ සැත්වලින් අනුන්ට පහර දෙමින් හිරිහැර කරයි නම්, එහි විපාක වශයෙන් මනුෂ්‍ය ව උපන් විට විවිධ ලෙඩ රෝගවලින් පීඩා විඳියි.
යමෙක් අනුන්ට හිරිහැර නොකරන්නේ නම්, එම කුසලය හේතු කොටගෙන මිනිස් ලොව උපන් විට මනා සෞඛ්‍යය ඇති ව ජීවත් වෙයි.
යමෙක් ද්වේෂ සහගත ව, කෝප බහුල ව ඉතා සුළු දෙයින් පවා කිපෙමින් කෝපය ප්‍රකට කරයි නම්, ඒ හේතුවෙන් මිනිසුන් අතර, උපදින විට විරූපී ව උපදියි.
යමෙක් ද්වේෂයෙන් තොර ව නොකිපෙමින් නොසරුප් වදන් වැස්සකින් පවා අමනාප නොවෙමින් ප්‍රසන්න ව වසයි නම්, මිනිසුන් අතර උපදින විට සුරූපි ව උපදියි. යම්කිසි පුද්ගලයෙක් ඊර්ෂ්‍යා සහගත ව අනුන්ගේ සම්පත්වලට, ගරු සම්මානවලට ඊර්ෂ්‍යා කරයි නම්, හදෙහි ඊර්ෂ්‍යාව රඳවාගනියි නම්, එහි ප්‍රතිඵලය ලෙස අල්පේශාක්‍ය ව උපදියි.
යමෙක් ඊර්ෂ්‍යා විරහිත ව අනුන්ගේ සම්පත්වලට, ගරු සම්මානවලට, ඊර්ෂ්‍යා නොකර සිත ඊර්ෂ්‍යාවෙන් කෙලෙසා නොගෙන වසයි නම්, ඒ හේතුවෙන් මනු ලොව උපදින විට ප්‍රබල ව මහේශාල්‍ය ව උපදියි.
යමෙක් කිසිවක් කිසිවකුට නොදෙමින්, දන් දීමෙන් වැළකී සිටී නම්, ඔහුගේ ගිජු බව හේතුවෙන් මනුෂ්‍යයන් අතර උපදින විට දුගී ව උපදියි.
යමෙක් නිර්ලෝභී ව දන් දීමෙහි නිරත වේ නම්, ඒ දානපතිත්වය හේතුවෙන් මනු ලොව උපදින විට පොහොසත් ව උපදියි.
යමෙක් තද ගති ඇති ව අනුන් හෙළා දකිමින් ගරු කළ යුත්තන්ට ගරු නොකරමින් වසයි නම්, ඒ අභංකාර පරවශ නිගරු පැවතුම්වල ප්‍රතිඵලයක් වශයෙන් හේ මිනිසුන් අතර, පහත් ව උපදියි.
යමෙක් නිරහංකාර ව, අනුන් හෙළා නොදකිමින් ගරු කළයුත්තන්ට ගරු කරමින් වෙසෙයි නම්, එම අනතිමානය හේතුවෙන් මිනිසුන් අතර උපදින විට උසස් ජන්මයක් ලබයි.
යමෙක් සිල්ණත් ගුණවත් උතුමන් හමු වී කුසල්-අකුසල්, හරි-වැරදි, කළ යුතු-නොකළ යුතු අභිවෘද්ධියට හේතු හා පරාභවයට හේතු වැනි දේ ගැන නොවිසමයි නම්, එහි ප්‍රතිඵල වශයෙන් හේ මිනිසුන් අතර උපදින විට අඥාන ව උපදියි.
යමෙක් සිල්වත් ගුණවත් උතුමන් හමු ව පෙර දැක්වූ කරුණු විමසා දැනගනියි නම්, ඒ කුසලයන් හේතුවෙන් මිනිසුන් අතර උපදින විට හේ නැණවත් ව උපදියි.
අප උපදින විට අපට ආරය නිසා ලැබෙන ජන්මීය ලක්‍ෂණ ඇති බව ප්‍රතික්‍ෂේප කළ නොහැකි ය. ඒ සමඟ ම විද්‍යාවට පැහැදිලි කළ නොහැකි වෙනත් සහජ හැකියාවන් ද අපට උරුම වන බව ද සත්‍යයකි. අපගේ පැවැත්මේ න්‍යෂ්ටික වූ ශුක්‍රාණු හා ඩිම්බය නම් දළ සාධකය වෙනුවෙන් අපි අපේ මාපියන්ට ණය ගැති වෙමු. එහෙත් ඒවා කලලය සම්භව වීම සඳහා අවශ්‍ය කර්ම ශක්තිය ලැබෙන තුරු එම බීජ උදාසීන ව පවතියි. එහෙයින් අපගේ උපත විෂයයෙහි වඩාත් ම වැදගත් වන සාධකය කර්මය යි.
අපගේ කායික හා චෛතසික ලක්‍ෂණ සකස් වීමෙහි ලා ඇතැම් විට මවුපියන්ගෙන් ලැබෙන සෛලයනට වඩා බෙහෙවින් වැදගත් කාර්යභාරයක් රාශිභූත ව වූ පූර්වකර්ම හේතුවෙන් ඉටු වන බව පෙනේ.
නිදසුනක් වශයෙන් වෙනත් අයට මෙන් ම බුදු රජාණන් වහන්සේට ද දෙමවුපියන් වෙතින් ජනක සෛලය හා ජාන ලැබිණ. එහෙත් කායික ව මානසික ව හා චර්යාමය වශයෙන් උන් වහන්සේට ළං වන කෙනෙක් උන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ මුතුන්-මිත්තන් අතර කිසි සේත් ම සෙවිය නොහැකි ය. බුදු රජාණන් වහන්සේගේ ම වචනවලින් පවසත හොත් උන් වහන්සේ අයත් වූයේ රාජ වංශයට නො ව, බුද්ධ වංශයට ය. තම කර්මයේ ම නිර්මාණයක් වූ උන් වහන්සේ ස්ථිර වශයෙන් ම ආශ්චර්ය මනුෂ්‍යයෙක් වූ හ.
ලක්‍ඛණ සූත්‍රයෙහි දැක්වෙන පරිදි බුදු රජාණන් වහන්සේට දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ බඳු සුවිශේෂ රූප ලක්‍ෂණ හිමි වූයේ පූර්ව ජන්මයන්හි කරන ලද කුශල කර්මයන්හි විපාක වශයෙනි.
මේ නිදර්ශනයෙන් පැහැදිලි වන්නේ කර්ම ශක්තියට අපගේ කායිකත්වය කෙරේ බලපාන්නට හැකියාවක් තිබෙනු පමණක් නො ව, මවුපිය සෛලයන්හි ජාන ශක්තිය නිෂේධනය කරන්නට ද හැකියාව ඇති බව ය. “අපි අපගේ කර්මයෙහි උරුමකරුවෝ වෙමු” යි බුදු රජාණන් වහන්සේ වදාළේ එහෙයිනි.
මේ විෂමතා පිළිබඳ ගැටලුව විවරණය කරමින් අත්‍ථසාලිනියේ මෙසේ දක්වා ඇත:
“කර්ම විවිධත්වය හේතු කොටගෙන සත්ත්වයන්ගේ උත්පත්තියෙහි දී උසස්-පහත්, හීන-ප්‍රණීත, සුඛිත හා දුක්‍ඛිත යනාදි විවිධත්වයන් ඇති වේ. කර්මයෙහි විවිධත්වය හේතුවෙන් ම පුද්ගලයන් අතර, සුරූපී-විරූපී, උත්තම-අධම, පරිපූර්ණ-විකලාංග ආදි විවිධත්වයන් ඇති වේ. කර්ම විවිධත්වය හේතුවෙන් ම පුද්ගලයන් අතර ලාභ-අලාභ, අයස-යස, නින්දා-ප්‍රශංසා, සැප- දුක යන ලෝක ධර්මතා ද පහළ වෙයි.
“කර්මයෙන් ලෝකය ඉදිරියට යයි. කර්මයෙන් සත්ත්වයෝ පවතිති. සියලු සත්ත්වයෝ කර්මයෙන් ම බැඳී සිටිති. රථ රෝදය කඩ ඇණයෙන් රැඳෙනු මෙනි. කර්මය නිසා ම කීර්ති ප්‍රශංසා ලැබේ. බන්ධනය, විනාශය කර්මයෙන් ම වෙයි. කර්මයෙන් විවිධ විපාක ලැබෙන බව දැන දැන ලෝකයෙහි කර්මය නැතැ යි පවසන්නේ කවර හෙයින් ද?”
මේ අනුව, බෞද්ධ දෘෂ්ටියෙන් බලන විට අපගේ වර්තමාන මානසික, චර්යාමය, බුද්ධිමය හා ගති ලක්‍ෂණමය විවිධතා බහුල වශයෙන් ම අපගේ අතීත හා වර්තමාන කර්ම හේතුවෙන් ම ඇති වූ ඒවා බව කිය හැකි ය.
සියල්ල සිදු වන්නේ කර්මයෙන් නො වේ.
මේ විවිධතාවන් ඇති වන්නේ ප්‍රධාන වශයෙන් කර්මයෙන් යැ යි බුදු සමයෙහි ඉගැන්වුව ද, සියල්ල ම සිදු වන්නේ කර්මයෙනැ යි එයින් කියවෙතැ යි වරදවා තේරුම් නොගත යුතු ය. කර්ම නියාමය මොන තරම් වැදගත් වුවත් එය බෞද්ධ දර්ශනයෙහි ඉගැන්වෙන ප්‍රත්‍ය (පච්චය) විසිහතරකින් එකක් පමණක් බව සිහියට ගත යුතු ය.
සුවදායක හෝ දුක්‍ඛදායක හෝ සුව-දුක් නොවන කවර වින්දනයක් වුව ද පෙර කළ කර්මයෙහි විපාක වශයෙන් ලැබේ” යන වැරදි අදහස විවේචනය කරමින් භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ:
“එසේ නම් මිනිසුන් මිනීමරුවන්, හොරුන්, කාමමිථ්‍යාචාරීන්, බොරුකාරයන්, කේළාම්කරුවන්, නිෂ්ඵල කතා කරන්නන්, විෂම ලෝභීන්, වෛර බඳින්නන්, මිසදිටුවන් වන්නේ පූර්ව කර්ම හේතුවෙන් විය යුතු ය. මෙසේ අවශ්‍ය හේතුව වශයෙන් පෙර කර්මය දක්වන්නවුනට යමක් කරන්නට ආශාවක් හෝ වීර්යයක් හෝ මේ දෙය කිරීමට හෝ මේ මේ දෙය නොකරන්නට අවශ්‍යතාවක් නොමැත.”
මේ වැදගත් දේශනය මගින් සියලු භෞතික තත්ත්වයන් හා මානසික ආකල්ප සියල්ල හුදෙක් පෙර කළ කර්ම නිසා ම සිදුවෙයි යන මතය බැහැර කැරේ. අපේ වර්තමාන ජීවිතය සහමුලින් ම අපගේ පූර්ව කර්මයන් මගින් නිශ්චිත ව තිබේ නම් හෝ ඒවායින් සම්පූර්ණයෙන් ම පාලනය වන්නේ නම්, කර්මය ඉරණම්වාදයක් හෝ දෛවවාදයක් හෝ නියතිවාදයක් බවට පත් වෙයි.
එසේ වුව හොත් කිසිවකුට තමන්ගේ වර්තමානය හෝ අනාගතය හැඩ ගස්වාගැනීමට අවකාශයක් ඉතිරි වන්නේ නැත. එමෙන් ම ස්වච්ඡන්දතාව (හිතා මතා ක්‍රියා කිරීමේ හැකියාව) අර්ථ ශූන්‍ය බවට පත් වෙයි. ජීවිතය හුදු යාන්ත්‍රික තත්ත්වයක් බවට පත් වෙයි. අපගේ සියලු කටයුතු පාලනය කරන, අපේ අනාගතය නිශ්චය කරන, සර්වබලධාරී දෙවි කෙනකු විසින් අප නිර්මාණය කිරීම හා අප හිතාමතා නිදහසේ කරන ක්‍රියා පිළිබඳ කිසි ම සැලකිල්ලකින් තොර ව, අපේ ඉරණම මුළුමනින් ම තීරණය කර, අපේ ජීවන රටාව පාලනය කරන අනුල්ලංඝනීය පූර්ව කර්මයක් මගින් උපදින්නට සිදු වීම අතර වෙනසක් නැත. මේ දෙකින් ම සිදු වන්නේ එක ම දේ නිසා කවර එකක් තෝරාගත්තත් වෙනසක් නැත. බෞද්ධ කර්මවාදය එබඳු ඉරණම්වාදයක් නො වේ.
භෞතික හා ආධ්‍යාත්මික ක්‍ෂේත්‍රයන්හි ක්‍රියාත්මක වන නියාම ධර්ම පහක් ගැන බුදු දහමෙහි ඉගැන්වෙයි. ඒ මේවා ය:
1. උතු නියාම: අජීව වස්තුන් පිළිබඳ භෞතික නියාමයකි. ඒ ඒ ඍතුවලට සුළං හැමීම, වර්ෂාව ලැබීම, නිසි කලකට නොවරදවා ඍතු උදා වීම, ඒ ඒ ඍතු- වලට ආවේණික වෙනස් කම් හා සිද්ධි, වර්ෂාව හා සුළඟ හමන ආකාරය, උෂ්ණයෙහි ස්වභාවමය ආදිය මෙයට අයත් ය.
2. බීජ නියාම:- ඇට වර්ග හා බීජයන්ගේ ස්වභාවය. නිදසුන්: වී ඇටවලින් ගොයම් වැවීම, උක් ගස් හා මී පැණිවල ඇති මිහිරි රසය, ඇතැම් පලතුරුවල ඇති විශේෂ ලක්‍ෂණ, සෛල හා ජාන පිළිබඳ විද්‍යාත්මක න්‍යාය සහ නිවුන් දරුවන්ගේ සමානතා ආදිය මෙයට ඇතුළත් කළ හැකි ය.
3. කම්ම නියාම: කර්ම සහ විපාකය පිළිබඳ නියාමය. නිදසුන්: කුසල හා අකුසල කර්ම නිසා හොඳ හා නරක විපාක ලැබීම. ජලය පහත් තැනට ගලා බස්නා මෙන් කර්මය ද අවස්ථාව ලද විට විපාක දෙයි. එය තෑගි දීම හා දඬුවම් දීම යන ක්‍රමයට නොව ආවේණික ධර්මතාවක් වශයෙන් මෙය සිදු වේ. මෙම ධර්මතාව ඉර හඳ උදා වීම මෙන් ම ස්වාභාවික ය. කර්ම විපාකය පිළිබඳ නියාමය එය යි. කර්මය තුළ ම සන්තති ධර්මතාව ද ගම්‍ය වෙයි. අපේ විවිධ අත්දැකීම්, පෞරුෂ ලක්‍ෂණ හා රැස් කෙරෙන දැනුම අපේ මනසෙහි සටහන් වෙයි. මේ අත්දැකීම් හා චරිත ලක්‍ෂණ භවයෙන් භවයට සංක්‍රමණය වෙයි. අපට ළමා වියේ අත්දැකීම් අමතක වන අයුරින් ම කාලයාගේ ඇවෑමෙන් මෙයින් සමහරක් අමතක වෙයි. කිසිවකුගෙන් ඉගෙන නොගෙන විවිධ දේ පිළිබඳ ව විස්මිත ලෙස කතා කරන ළමා හපන්නු මෙම සන්තති ධර්මතාවට හොඳ නිදසුනකි.
4. ධම්ම නියාම: ධර්මතාවෙහි නියාමය. නිදසුන්: බෝසත්වරයකු අවසන් වරට ලොව උපදනා විට ස්වභාව ධර්මයෙහි ඇති වන වෙනස්කම් (අසිරිමත් සිදුවීම්) ගුරුත්වාකර්ෂණය හා එබඳු ස්වභාවධර්ම නීති හොඳ වීමට ඇති හේතු වැනි දේ මීට ඇතුළත් කළ හැකි ය.
5. චිත්ත නියාම: මනසෙහි නියාමය. නිදසුන්: චිත්ත සන්තතිය, සිතෙහි අන්තර්ගත සාධක දිවැස්, දිවකන්, පූර්ව ජන්ම සිහි කිරීම, අනාගත ඥානය, පරචිත්ත විජානනය වැනි අධිමානසික ශක්ති ද ඇතුළත් ව චිත්ත බලය යනාදිය චිත්ත නියාමය වේ. මේවා නූතන විද්‍යාවෙන් අර්ථකථනය කළ නොහැකි යි.
සියලු භෞතික හා ආධ්‍යාත්මික සංසිද්ධි මේ සාධාරණ නියාම ධර්ම පහ ඇසුරෙන් විවරණය කළ හැකි ය. කම්ම නියාමය මේ පහෙන් එකක් පමණි. වෙනත් ඕනෑ ම ස්වභාව ධර්ම නීතියක් පරිද්දෙන් ම මේවාට නීති දායකයෙක්, පනවන්නෙක් අනවශ්‍ය ය.
මේ පහෙන්, උතු නියාමය, බීජ නියාමය හා ධම්ම නියාමය මිනිස් නුවණින් හා චිත්ත බලයෙන් තරමක් දුරට පාලනය කළ හැකි බව සැබෑ වූව ද බෙහෙවින් ම යාන්ත්‍රික ය. නිදසුන් දක්වත හොත්, ගින්න ස්වභාවයෙන් ම දවනසුලු හා හිම දැඩි ශීතල ලෙය මිදෙනසුලු වුව ද, සමහර මිනිස්සු නොපිලිස්සි ගිනි මත ගමන් කරන්නට ද නිරුවතින් හිම මත බවුන් වඩන්නට ද සමත් වූ හ. උද්‍යානවේදීන් මල් සහ පලතුරු විෂයයෙහි කර ඇති ප්‍රාතිහාර්යාත්මක වෙනස්කම්, යෝගීන් අහසෙන් ගමන් කිරීම වැනි දේ ද ඊට නිදසුන් ය.
චිත්ත නියාමය ද බෙහෙවින් යාන්ත්‍රික නමුත්, බෞද්ධ භාවනා ක්‍රම මගින් එය ද පාලනය කිරීම අරමුණු කැරේ. කම්ම නියාමය ස්වයංක්‍රීය වන අතර, කර්මය බලගතු වූ විට මිනිසාට අවශ්‍ය වූව ද, එහි ක්‍රියාකාරිත්වය වළකා ලිය නො හේ. එහෙත් සම්මා දිට්ඨිය හා අධිෂ්ඨානය මගින් අනාගතය හැඩගස්වාගැනීමට පුළුවන. නිරතුරු කුසල කර්ම කිරීම මගින් අකුසල කර්ම විපාක දීම මඟහැරවිය හැකි කර්මය බෙහෙවින් සංකීර්ණ නියාමයක් හෙයිනි. එහි සැබෑ තතු දත හැක්කේ බුදු කෙනෙකුන් විසින් ම ය. අංගුත්තර නිකායෙහි දී කර්ම විපාකය චතුර්විධ අචින්තෙය්‍යයන්ගෙන් එකක් ලෙස තථාගතයන් වහන්සේ විසින් දක්වා තිබේ. බෞද්ධයන්ගේ අරමුණ වන්නේ කම්ම නිරෝධය යි.
by Danesh Edirisooriya | Aug 7, 2019 | දහම් කරුණු
දානයෙන් මෙන් මැ ශීල භාවනාවන් හි අනුසස් බොහෝ ය. ශීලයෙහි යෙදෙනවාට වඩා බොහෝ දෙනා දන් දී මෙහි යුහුසුළු වෙති. එකල වැඩි දෙනෙක් බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේට දන් පූජා කළෝ කුඩා කණ්ඩායම් වශයෙන් ඒකරාශි වීමෙනි. දන් දෙන සැදැහැවතුනට එයින් වැඩි වෙහෙසක් නොවුවා සේමැ දන් පිළිගනු ලබන වහන්දෑට ද පහසුවක් මැ විය.
මෙලෙස දන් පිළිගැන් වූ එක් අවස්ථාවෙක වළඳා අවසන්හි අනුමෝදනා බණ වදාරණ බුදුරජාණන් වහන්සේ,
“උපාසකවරුනි, යම් පුද්ගලයෙක් තමන් සතු සම්පත් උපයෝගි කර ගනිමින් දන් දෙන කල්හි අන්‍යයන් ඒ සඳහා සහභාගි කර නොගෙන තනිව වැ දන් දෙන්නේ නම් ඔහුට භව භෝග සම්පත් මිස පරිවාර සම්පත් (පිරිස් බලය) නොලැබෙන්නේය. තමන් විසින් යම් වියදමක් නොකර අනුන් සම්මාදන් කරවා ගෙනැ යමෙක් දන් දෙත් නම් ඔහුනට පරිවාර සම්පත් පමණෙක් මිස භෝග සම්පත් නොලැබේ.
යමෙක් ඒ දෙක මැ නොකරන්නේ නම් භෝග සම්පත් හෝ පරිවාර සම්පත් යන දෙක මැ නොලැබෙන්නේය. නොඑසේම අන්‍යයන් සම්මාදන් කරවා ගෙනැ තමන් ද ඊට හවුල්වැ දන් දෙත් ද, එලෙස දෙනු ලබන දානය භව භෝග සම්පත් හා පරිවාර සම්පත් යන දෙක මැ ලැබීමට හේතු වන්නේ යයි “ වදාළ සේක.
එලෙස බුදුරජාණන් වහන්සේ ගෙන් බණ ඇසූ එක්තරා කුල පුත්‍රයාණ කෙනෙක්. “බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ඉතා යහපත්ය.
සම්පත් ඇති වැ පරිවාරත් ඇත්නම්, පරිවාර ඇති පමණින් යසසත්, කීර්තියත්, වැඩීමට හේතු වෙයි. එසේ නම් මම මේ දෙක මැ ලබමි.” යි සිතා ධර්ම දේශනාව නිමවූ කල්හි බුදුන් වහන්සේ වෙතැ එළඹ නමස්කාර කොට වැඳ, “ස්වාමීණි බුදුරජාණන් වහන්ස සෙට දින දහවලැ දන් පිණිස මාගේ නිවසට වඩින සේක්වා”යි කරුණා පෙරදැරිව ආරාධනා කර සිටියේය.
“පින්වත, කොතෙක් භික්ෂූන් අවශ්‍ය දැයි” බුදුන් වහන්සේ විචාළ සේක්,
“ස්වාමීනී විහාරයේ වැඩ වෙසෙන සියලු මැ භික්ෂූන් වහන්සේ ය ”යි කීහ. කුලපුත්‍රයන්ගේ ශක්තිය පමණ දැන සිටි බුදුරජාණන් වහන්සේ ආරාධනය ඉවසා වදාළ සේක. කුලපුත්‍රයා තමන් ගමට ගොස් නුවර සිසාරා යමින් තැනින් තැන හඬ නඟා කියන්නේ, සෙට දින බුදුපාමොක් මහ සඟනට දහවල දන් පුදනු පිණිස ම විසින් කරණ ආරාධනාව, යි, මේ පිනට ලැදි යම් කෙනෙක් වෙත් නම් ඊට සහභාගි වීමට කැමැත්තේ නම් කැඳට බතට, අවුළුපතට, ඇවැසි සහලින් පරිත්‍යාග කළ මැනව. තවද මුං උඳු ආදි දානෝපකරණත් සමග එලෙස සපයා ගත් දෙය එක් තැනෙක දී පිස දන් දෙමි හ යි කීය.
කුල පුත්‍රයාණන්ගේ ආරාධනය ඇසූ නගර වාසී සැදැහැවත් ඇත්තෝ දනට ඇවැසි කළමනා එක් එක් අය ගෙනුත් තමන් විසිනුත් සපයා ගෙනැ එක් ස්ථානයකට එක්කාසු කළහ. එළෙස දන් දෙන්නට කැමති එක් තැනැත්තෙක් කුල පුත්‍රයන්ගේ විධානය පරිදි දනට නිසි කළමනා සම්මාදන් කර ගන්නා අදහසින් නුවර එක් සිටාණ කෙනෙකුන් ගේ වෙළඳසල ඉදිරියට ගියේය. එසේ ගොස් තමන් ආ කාරණාව සිටාණන්ට දන්වා සිටියේය.
නගරයේ ප්‍රසිද්ධ ධනවත් වෙළඳ ව්‍යාපාරිකයෙක් වුවද මෙම සිටාණෝ බෙහෙවින් මසුරුය. කවරකුට වුවද දීමට නොකැමැත්තේ ය. නුවර පුරා ප්‍රසිද්ධියට පත් දනක් හෙයින් ඊට සහභාගි නොවී නිහඬව සිටීම සිටාණන්ට මදි පුංචි කමක් හෙයින්, යම් පමණෙකින් හෝ ඊට සැලකිල්ලක් දැක්විය යුතුයි සිතු සිටාණන් සම්මාදම් පිණිස පැමිණි .තැනැත්තා දකිමින්,
මේ තෙමේ තමන්ට හැකි තරමින් දනක් නොදී නගරය මුළුල්ලේ දනක් දෙමැයි හඬ නගා ඇවිදින්නේය. පුලන්නන් මෙන් අතනින් මෙතනින් ඉල්ලා ගෙනැ දෙන දනත් දානයක් , ද ඔහු කෙරේ නොසතුටු වුවද,
“යහලුව, තොප දනට, සහල් සොයා රැගෙන ආ පසුම්බිය මෙහිට ගෙනවයි අමතමින් ඔහු සමීපයට පැමිණ කල්හි,
සිටාණෝ අඟිලි තුනක් අගට අසුවන තරමට සහල් ඩිංගක් ගෙනැ සම්මාදම පිණිස ආ තැනැත්තාගේ පසුම්බියට හෙළී ය. මුං උඳු ආදි දනට අවශ්‍ය අනෙකුත් කළමනා ද ඒ ඒ තරමින් ස්වල්ප කොට මැ දුන්හ.
ඇඟිලි තුනක් එක් වූ කල්හි එය බළල් අතක පතුළක් තරම් වන හෙයින් දනට නමුත් දුන් දෙය මසුරු වැ දුන් සිටාණන් ගැන නුවර පුරා පැතිර ගිය අතර එවක් පටන් එම මසුරු සිටාණෝ “බිළාල පාදක සිටාණෝ” යි අන්වර්ත නාමයෙන් හඳුන්වන ලද හ.
මෙම අවස්ථාව වන විට කුලපුත්‍රයා ද සිටාණන්ගේ වෙළඳ සල ඉදිරිපිට පැමිණ සිටියේය. දානය සඳහා එක් එක් අය විසින් පරිත්‍යාග කරණ ලද කළමනා එකතුකොට වෙනමත් සිටාණන් දුන් කළමනා වෙන් වශයෙනුත් පොදිබැඳ ගෙන දන් පිළියෙල කරණ තැන් බලා ගියහ. තමන් විසින් දනට දුන් කළමනා වෙන මැ පොඳි බඳිනු ද සිටාණෝ.
සෙස්සෝ දුන් කළමනා එක් කොට වෙන් වශයෙනුත් මා දුන් දෙය වෙනමත් පොදි බැඳ ගන්ට කාරණා කිමෙක් දැයි කල්පනා කොටැ සේවකයකු කැඳවා, “කොලුව, යව ඔවුන් යන මග ගොස් මා දුන් දේට කුමක් කරන්නේද යි නිශ්චිත වැ බලා ගෙන එව” යි සේවකයා ඔවුන් පසු පස යැවීය.
සේවකයා සිටාණන්ගේ අණ පිළිපදිමින් උන් ගිය මග පසු පසින් ගොස් දන් පිළියෙල කරන තැනට වන්හ. දන් පිළියෙල කරන්නෝත් දුන් දෙය සුළු වුවද ලබන පින බොහෝයි. සිතා කලමනා ලද තරමින් කැඳ බත්, අවුළුපත් පිසින හැලි වලංවලට සහල් වුවමනා පමණින් දැමූහ. මුං උඳු දේත් ඇති තරමින් එලෙසට බඳුන්වලට දැමූහ. එහි ගිය සිටාණන්ගේ සේවකයාත් සිදුවූ සියල්ල එලෙසින් මැ දැක බලා ගෙනැ පෙරලා සල්පිලට ගොස් සිටාණන් හමුව සියලු පවත් කීවේය. එපවන් ඇසූ සිටාණෝ.
“යමෙකු මට දනට මසුරුකම කෙළේයයි බොහෝ දෙනා ඉදිරියේ කියා මට අවමානයක් නින්දාවක් කළේ නම් ඔහු කපා කොටා මරම් “යි ඊට සුදුසු ආයුධයක් ද හිණැ සඟවා ගෙනැ පසුව දා දන් වළදන තැනට ගොස් එහි රැඳී සිටියේය.
කුලපුත්‍රයා බුදුපාමොක් මහා සංඝයා වහන්සේ දන් වළඳවා ඉක්බිති බුදුන් වහන්සේ වෙතැ එළඹ නමස්කාර කොටැ වැඳ,
“ස්වාමීනි බුදුරජාණන් වහන්ස, මම සැදැහැවත් බොහෝ දෙනා සම්මාදන් කරවා ගෙනැ මහත් වූ සතුටු සිතින් දන් පිදුවෙමි. මාගේ කාරුණික ඉල්ලීම අනුව බොහෝ පිරිස් දනට සහභාගි වූහ. සහල් මුං උඳු ආදි දනට ඇවැසි කලමනා තම තමන්ට හැකි පමණින් ඔවුහු සැපයූහ. සුළුවෙන් දුන්නවුන්ටත් බොහෝ කොටැ දුන්නවුන්ටත් වෙනසක් නොකොට දන් දීමේ අනුසස් වෙනසක් නැති වැ සියල්ලනට සම සම වම ලැබේවා යි ප්‍රාර්ථනා කරමි” යි කීය.
බිළාල පාදක සිටාණන් ද එම අවස්ථාවේ එතැනය. කුලපුත්‍රයාගේ ප්‍රාර්ථනය සිටුවරයාද හොඳින් අසා ගෙනැ සිටියේය. එයින් මවිතයටත් කලබලයටත් පත් සිටාණන්ගේ ඉහෙන් කණෙන් සිහින් දාඩිය දැම්මේය. සිටි තැන සිට ගත නොහැකිව පසු වූ ඔහුගේ සිරුර ගැහෙන්නට විය. මුවහත් ආයුධයක් ඉණ ඉහ සඟවා ගෙන එහි ගිය සිටාණෝ සිද්ධ කරන්නට ගියේ මහා අපරාධයකැයි සිහි වැ සිතින් වැළපෙන්නට විය.
මම මසුරු සිතින් සුළුවෙන් දනට දුන්නා යයි මිනිසුන් අතර කියා නින්දා කළෝ නම් මොහු මරම්යි සිතා මෙතැනට ආවෙමි. එහෙත් මෙතෙමේ නම් මනුෂ්‍යයන් අතර උත්තම පුරුෂයෙක. සුළුකොට දුන්නවුන්ටත් බොහෝ සෙයින් දුන්නවුන්ටත් දන් දීමේ විපාක සමව සිතන්නේය. මෙතුමෝ මා විසින් ක්ෂමා කර නො ගන්නේ නම් මගේ හිස සෙණ පහරකින් සුණු විසුනු වන්නට බාධා නැතොත් ඉන් වන්නේ මහත් නපුරෙකැයි සිතා වහා කුල පුත්‍රයාණන් ඉදිරියට ගොස් දෙපා ළඟ වැඳ වැටී ස්වාමීනී උත්තමයන් වහන්ස, මට ක්ෂමා කළ මැනවයි බැගෑපත් වැ ආයාචනා කර සිටියේය.
ඒ කුමක් සඳහාද යි කුලපුත්‍රයා සිටාණේ විචාළ කල්හි සිටාණෝ සියලු පවත් කියා සිටියහ.
බුදුරජාණන් වහන්සේත් කුලපුත්‍රයාණන් හා සිටාණන් අතර සිදුවූ කතා බහට සවන් දී සිටි හෙයින්,
“කිමෙක්ද පින්වත”යි දන් පිළියෙල කළ කුල පුත්‍රයා අතින් විචාර කල්හි එතෙක් සිදුවූ සියල්ල බුදුන් වහන්සේ වෙතැ සැකෙවින් සැලකර සිටියහ.
එසේ දැයි සිටාණන් විචාරා එසේය ස්වාමිනියි කී කල්හි බුදුරජාණන් වහන්සේ, “සිටාණෙනි, පින්කම නම් සුළු කොටැ නො සිතිය යුතුය. යමෙක් බොහෝ කොට පින් නොකළ ද කුහුඹුවෙකුට උගේ ආයු කාලය තුළ නගින්නට උත්සාහ කළ ද මහමෙර උඩට නගින්නට නොහැකිවාසේ සුළුවෙන් කළ පින්කම විපාක දිය හැකි දැයි සැක පහළ නොකළ යුතුය. කෙසේද යත් කවර කලෙක සුළුවෙන් කළද කළ පින් නැති නොවන බැවින් ඒ හැම පිනක් මැ එකතුවැ කුසලය මහත් වන බැවින් විපාක ඉඳුරාම ලැබෙන්නේ යි” වඳාල සේක.
දේශනා කෙළවර බිළාල පාදක සිටාණෝ සෝවාන් ඵලයට පැමිණියහ. තම තමන් හැකි පමණින් දන් පිදු සැදැහැවත් පුණ්‍යවන්තයෝද දානාදි ආනිසංස හේතුකොටැ ගෙනැ අමා මහ නිවන් සුව සාක්සාත් කර ගත්හ.
තෙරුවන් සරණයි!
ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!
by Danesh Edirisooriya | Aug 7, 2019 | දහම් කරුණු
ඉපදුණා වූ සියලූම සත්වයෝ මරණයට පත්වන්නේය. දෙව්ලොවෙහි දෙවියන් ද, බඹලොවෙහි බ‍්‍රහ්මයන් ද, සතර අපා වැසි සත්වයන් ද, සියලූ මනුෂ්‍යයන් ද මරණයට පත් වන්නේ ය. ඉපදුණා වූ කිසිම සත්වයෙකුට මරණයෙන් ගැලවිය නොහැක. සියලූ දෙනාම මරණයට මුහුණ දිය යුතුය. කුමන මොහොතක කුමන කරුණකින් කෙසේ මරණය සිදුවේදැයි කිසිවෙකුට කිව නොහැක.
මවු කුස තුළදී ද, මවු කුසින් බිහිවන මොහොතේ දී ද, ළදරු කාලයේදී ද, ළමා කාලයේදී ද, තරුණ කාලයේ දී ද, මැදි වයසේදී ද, මහළු වයසේදී ද, ඕනෑම කෙනෙකු මරණයට පත්විය හැකිය. ඉපදුණා වූ කෙනෙකු මේ කාලයේදී මේ අයුරින් මරණයට පත් වේ යැයි කිසිවෙකුට කිව නොහැක. මරණයට පත්වීම කෙරෙහි වයස් භේදයක් නැත.
ධනවත් පුද්ගලයෝ ද, දුප්පත් පුද්ගලයෝ ද, උගත් පුද්ගලයෝ ද, නූගත් පුද්ගලයෝ ද, බලවත් පුද්ගලයෝ ද, දුබල පුද්ගලයෝ ද, කුලවත් පුද්ගලයෝ ද, කුලහීන පුද්ගලයෝ ද, ගුණවත් පුද්ගලයෝ ද, ගුණහීන පුද්ගලයෝ ද, රූපවත් පුද්ගලයෝ ද, විරූපී පුදගලයෝ ද, දක්ෂ පුද්ගලයෝ ද, අදක්ෂ පුද්ගලයෝ ද මරණයට පත්වන්නේ ය. මරණයට පත් වීම කෙරෙහි පුද්ගල භේදයක් නැත.
උදෑසන කාලයේ දී ද, දහවල් කාලයේ දී ද, සැන්දෑ කාලයේ දී ද, රාත‍්‍රී කාලයේ දී ද, ඕනෑම පිරිමියෙකු හෝ ඕනෑම ස්ත‍්‍රියක හෝ මරණයට පත් විය හැකිය. මරණයට පත්වීම කෙරෙහි කාල භේදයක් නැත.
දියෙහි ගිලීමෙන් ද, ගින්නට හසු වීමෙන් ද, වස විෂ ශරීර ගත වීමෙන් ද, මරණය සිදුවිය හැකිය. ලෙඩ රෝග නිසා ද, භූමි කම්පා – ජල ගැලීම් ආදී ස්වාභාවික විපත් නිසා ද, හදිසි අනතුරු නිසා ද, විෂ සතුන් දෂ්ඨ කිරීමෙන් ද, අමනුෂ්‍යයන් නිසා ද, වෙනත් අයෙකුගේ උපක‍්‍රමයක් නිසා ද, ආයුෂ ගෙවී යාමෙන් ද, ආහාර හිරවීමෙන් ද, ජලය හිරවීමෙන්, හුස්ම හිරවීමෙන් ද, පය පැටලී වැටීමෙන් ද මරණයට සිදුවිය හැකිය. මරණයට පත්වීම කෙරෙහි අවස්ථා භේදයක් නැත.
සියලු කෙලෙසුන් නැසූ, බුදුරජාණන් වහන්සේලා ද, පසේ බුදුරජාණන් වහන්සේලා ද, මහ රහතන් උතුමන් වහන්සේලා ද පිරිනිවන් පා වදාළ සේක. මග ඵල ලාභී උතුමෝ ද මරණයට පත්වූහ.
දවල් ගෙවී යන්නේ පුද්ගලයෙකුගේ ජීවිතය මරණය කරා ගෙන යමින් ය. ඉහළට ගත් ආශ්වාස වාතය, පහළට හෙලන කාලය තරම් ඉතා සුළු කාලයක් වත් ජීවත් වීමට හැකි වේ දැයි කිසිවෙකුට කිව නොහැකිය. ඒ අයුරින් ඉතා සුළු කාලයකදී පවා ඕනෑම අයෙකු මරණයට පත් විය හැකිය. ඉපදුණු සියලූ සත්වයන්ට, මරණය උරුම වූ දෙයකි. ජීවත් වන කාලය තුළ කුසල් දහම් දියුණු කළ යුතුය. සමථ විදර්ශනා වැඩිය යුතුය. සංසාර දුකින් මිදීම පිණිසම වෙර වීරිය කළ යුතුය. හිස ගිනිගත් අයෙකු ඒ ගින්න නිවීමට යම් සේ උත්සාහ කරන්නේ ද, වීරිය කරන්නේ ද, ඒ අයුරින්ම සංසාර දුකින් මිදීම පිණිසම නිතර වීරිය කළ යුතුය. අප‍්‍රමාදී විය යුතුය.