loader image
Select Page
චුල්ලපන්ථක මහරහතන් වහන්සේ

චුල්ලපන්ථක මහරහතන් වහන්සේ

රජගහනුවර ධනවත් හා කීර්තිමත් සිටුපවුලක්‌ විය. මෙම සිටුපවුලට සිටියේ රූමත් දියණියක්‌ පමණක්‌ම නිසා ඇයට ආදරයෙන් නම් අඩුවක්‌ වූයේ නැත. දියණිය යොවුන් වියට එළඹි පසු ඇය රැකගනුවස්‌ මා පියවරු කෙතෙක්‌ උත්සහ කළද ඇගේ ප්‍රේමය දිනාගත්තේ සිටුමැදුරේ කඩවසම් මෙහෙකරුවෙකි. නොබෝකලකින් ඇය ඔහු හා පැන ගියාය. සිටු මා පියන් ඇය මියගියා යෑයි සලකා ඇයව සිටුපවුලෙන් ඉවත් කළෝය. සිටුදියණිය දැන් තම දුප්පත් සැමියා සමග ආදරයෙන් දුක සැප සමව බෙදා ගනිමින් ජීවන තරගයේ යෙදෙන්නේ තම කුලුඳුල් දරුවා ලැබීමේ කාලයට ළඟා වූවාය. දැන ඇයට තම මව් සෙනෙහස අවැසිය. ඇය සැමියා සමග තම මව වෙත යන්නේ අතරමගදී දරුවා බිහිවිය. ඔවුන් මහ මග උපන් දරුවාට “පන්ථක” යෑයි නම් තැබූහ. කාලය වේගයෙන් ගලා යයි. දැන් ඇය තම දෙවෙනි දරු උපතටද සූදානම්ය. ඇය තම සැමියා සමග මව වෙත යන්නේ අතර මගදී දෙවන දරුවාද බිහිවිය. ඔවුන් තම පුංචි සුරතලාටද නම තැබුවේ “පන්ථක” කියාය. දැන් වැඩිමලා මහා පන්ථකය. පුංචි පුතා චුල්ල පන්ථකය. නොබෝ කලකින් මේ සුරතල් දරුවන් දෙදෙනාට තම මුතුන්මිත්තන් දැකීමට සිත්විය. අසල්වැසි ගම්දරුවන් සමඟ සෙල්ලම් කරන මහාපන්ථක කුමරා ඔවුන් බාප්පා, මුත්තා, අත්තම්මා කියනු අසා ”අපට නෑයෝ නැද්දැ” යි මවගෙන් ඇසීය. ”රජගහනුවර මහධන සිටාණෝ නුඹගේ මුත්තණුවෝය. එහි බොහෝ නෑයෝ වෙතී” යි මව කීවාය. එහි නොයාමට හේතු පහදා දුන් නමුත් දරුවන්ගේ ඇවිටිලි බොහෝ වූ හෙයින් රජගහ නුවරට යාමට තීරණය කළහ …. එසේ ගිය පසු නුවර දොරටුවෙහි නවාතැන් ගත් ඔවුහු තමන් ආ බව දන්වා යැවූහ. මවුපියෝ ඒ අසා ”මුන් දෙදෙනා අපගේ වංශයට හානි කළහ. මහත් අපරාධයක් කළහ. අපේ ඇසට පෙනෙමින් ළඟ නොසිටිය යුතුය” කියා කැමති තැනෙක ගොස් ජීවත් වීමට වස්තු සම්පත් දෙවා සිටු යුවල චුල්ල පන්ථක හා මහා පන්ථක තම සිටුමැදුරේ නවතා ගැනීමට කැමති වූහ. දැන් ඔවුන් දෙදෙනා ජීවත්වන්නේ තම ආච්චි හා සීයා භාරයේය. තම සීයා සමග නිතර බණ ඇසීමට වෙහෙරට යන මහාපන්ථක තම සීයාගෙන් අවසර ගෙන පැවිදි විය. උන්වහන්සේ නොබෝ කලකින් විදසුන් වඩා රහත් වූහ.

ටික දවසක් යනකොට පොඩි පන්ථක (චුල්ලපන්ථක) ටත් ගිහි ජීවිතය එපා විය . මහණ වෙලා ඉන්න අයියා ගත කරන ශාන්ත පැවිදි දිවිය දකින කොට චුල්ල පන්ථකට මහණ වීමට සිතක් ඇතිවිය . මේ අනුව චුල්ලපන්ථක, මහා පන්ථක හාමුදුරුවන්ගේ පන්සලට ගිහින් මහණ වූහ .

මල්ලියි කියල මහා පන්ථක හාමුදුරුවන්ගෙන් චුල්ල පන්ථක හාමුදුරුවන්ට වෙනසක් ලැබුණේ නැත . මහණ වෙච්ච දවසෙ ඉඳලා කාල සටහනක් අනුව වැඩ කරන්නත් ගාථා කට පාඩම් කරන්නත් පන්ථක පොඩි හාමුදුරුවන්ට සිදු වූහ.

මහා පන්ථක හාමුදුරුවෝ

“පදුමං යථා කොකනදං සුගන්ධං
පාතො සියා ඵුල්ල මවීත ගන්ධං
අංගීරසං පස්ස විරෝචමානං
තපන්ත මාදිච්ච මිවන්ත ලික්ඛෙ”

යන ගාථාව කට පාඩම් කරන්න යැයි චුල්ලපන්ථක හාමුදුරුවන්ට උගැන්වූහ. ගාථාවේ පදයෙන් පදය අර්ථය සමග වටහා දුන්හ. එහෙත් පොඩි පන්ථක හාමුදුරුවන්ටට කට පාඩම් කරන එක සිතට වද දෙන වැඩක් විය. දස දහස් වාරයක් පාඩම් කළත් එක පදයක් හෝ මතක තබා ගැනීමට නොහැකි විය.

මාස හතරක් තිස්සේ උත්සාහ කළත් එක අකුරක් හෝ මතක තබා ගත නොහැකි විය.

මහා පන්ථක හිමියෝ පොඩි පන්ථක කැඳවූහ.
“පන්ථක ඔයාට මහණකම් හරියන්නේ නැහැ. එක බණ පදයක් මතක තියා ගන්න බැරිව මොන මහණකමද? මටත් ලැජ්ජයි. මහණකම් කෙසේ වෙතත් ගිහිකම් නම් හරියාවි. ඒ නිසා ඔයා ගෙදර යන්න.”

මේ අතර ජීවක වෙද මහතා පන්සලට පැමිණ, බුදුන් ප්‍රධාන මහ සඟනට පසුවදා දහවල් දනට ආරාධනා කළේය. මහා පන්ථක හිමියෝ චුල්ල පන්ථක හිමියන් හැර ජීවක ආරාධනාව පිළිගත්හ. ඒ බව දැනගත් චුල්ල පන්ථක හාමුදුරුවන්ගේ කනගාටුව, ශෝකය, කලකිරීම තව තවත් වැඩිවිය.

එක මොහොතක් හෝ මේ පන්සලේ නොරැඳෙමි යැයි සිතූ චුල්ල පන්ථක හිමියෝ පහුවෙන්දා උදෙන්ම පන්සලෙන් පිටත් වූහ. මහා කරුණා සමාපත්තියට සමවැදී ලෝකය දෙස බලන බුදු පියාණෝ කලකිරී ගෙදර යන චුල්ල පන්ථක පොඩි හිමියන් දුටු සේක. පා සිවුරු ගත් බුදු පියාණෝ පන්ථක පොඩි හාමුදුරුවන් යන මගට සෘද්ධියෙන් වැඩියෝය.

“පන්ථක කොහෙද මේ යන්නෙ?”

බුදුපියාණෝ විමසූහ.

“අයියා කිව්වා මට මහණකම් කරන්න බැරි බව. ඒ නිසා මං ගෙදර යනවා බුදුහාමුදුරුවනේ”

මහා කරුණාවෙන් ළතෙත් සිතැති මහා ශාන්ති නායකයාණෝ චුල්ල පන්ථක පොඩි හාමුදුරුවන්ගේ හිස පිරිමදිමින් මෙසේ වදාළහ.

“පන්ථක අයියට බෑ නුඹ ගෙදර යවන්න. ගාථා පාඩම් කර ගන්න මහන්සි වෙන්න ඕනෙ නැහැ. නුඹට එක දෙයක් කරන්න පුළුවන්ද?”

“ඒ මොකක්ද, බුදුහාමුදුරුවනේ?,,”

“පන්ථක ඔබට සිත හදා ගන්න පුළුවන්ද?”

“පුළුවන් බුදුහාමුදුරුවනේ”

ඉන්පසු බුදුහාමුදුරුවෝ සුදුරෙදි කැබැල්ලක් දී එය කිලිටි හරිමි, කිලිටි හරිමි යි කියමින් අත්ලේ පිරිමදින්නැයි පන්ථක හිමියන්ට කීහ. පන්ථක පොඩි හාමුදුරුවෝ බුදුපියාණන් වදාළ පරිදි කමටහන ක්‍රියාත්මක කළහ. ක්‍රමයෙන් අත්ලේ පිරිමැදි රෙදි කෑල්ල කිලිටි වන්නට විය.

ඒ කෙරේ සිහිය ඇති කරගත් පන්ථක හිමියෝ, පෙර වැඩූ කුසල් ඇත්තේ සිතේ කිළිටි ස්වභාවයත්, සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වභාවයත් මැනවින් තේරුම් ගෙන සියලු කෙලෙසුන් නසා රහත් බව ලබා සියලු දුකින් මිදුණෝය.

චුල්ලපන්ථක තෙර පෙර භවයෙක රජෙක්ව ඉපද නුවර පැදකුණු කරන වේලෙහි නළලින් ඩාදිය පිරිසිදු සළුවෙන් පිසදැමීය. සළුව කිලිටි විය. මේ අපවිත‍්‍ර ශරීරය නිසා පවිත‍්‍ර සළුව කිලිටි විය. ඒ හේතුවෙන් උපන් සියල්ල මෙසේ අනිත්‍යතාවයෙන් යුක්තය කියා ඇති වූ අනිත්‍ය සංඥාවට මෙකල රජෝහරණය ම උන්වහන්සේට රහත්වීම සඳහා හේතු වූයේය.

ජීවක භාග්‍යවතුන් වහන්සේට පැන් පිළිගැන්වීය. උන්වහන්සේ ආරාමයේ තව භික්ෂූහු සිටිති” යි යි අතින් පාත‍්‍රය වැසූ සේක. මහාපන්ථක තෙර ”ස්වාමීනි, විහාරයෙහි භික්ෂූහු නැතැ” යි කීය. භාග්‍යවතුන් වහන්සේ ‘ඇති නැති බව දැන එව’ යි මිනිසකු යැවූහ. චුල්ලපන්ථක තෙරණුවෝ ”මාගේ සොහොයුරාණන්ට භික්ෂූන් ඇති බව පෙන්වමි” සිතා සිවුරු මහන, සිවුරු හෝදන, සිවුරු පඬු පොවන, පාඩම් කරන දහස් ගණන් භික්ෂූන් අඹවනය පුරා මැවූහ. ඒ පුරුෂයා දිවගොස් ‘අපමණ භික්ෂූහු සිටිතැ’ යි සැල කලේය. ”චුල්ලපන්ථක කැඳවා ගෙන එව” බුදුන් වදාළ කල්හි එහි ගිය පුරුෂයා ‘චුල්ලපන්ථකයන් කැඳවති’ කීය. සියල්ලෝම ”මම චුල්ලපන්ථක වෙමි. මම චුල්ලපන්ථක වෙමි” නැගී සිටියහ. ඔහු ගොස් ඒ බව සැල කලේය. ”එසේ නම් පළමු කීවහු අතින් අල්වා ගන්න. එවිට සෙස්සන් අතුරුදහන් වෙති” වදාළහ. එපරිද්දෙන් චුල්ලපන්ථක තෙරුන් කැඳවාගෙන ආපසු දන් වළඳා අනුමෙවෙනි බණ දෙසීම පන්ථක තෙරුන්ට පවරා විහාරයට වැඩි සේක.

සවස් වේලෙහි දම් සභාවට රැුස් වූ භික්ෂූන් වහන්සේ මේ පුවත මුල්කොට බුදුරජාණන් වහන්සේගේ ගුණ කථා කියමින් හුන්හ. එහි වැඩි භාග්‍යවතුන් වහන්සේ ”චුල්ලපන්ථක දැන් මා නිසා ධර්ම මහත්වයට පැමිණියේය. පෙර මා නිසා භෝග මහත්වයට පැමිණියේය” යි වදාළ සේක. මෙසේ මහ රහත් බවට පත් වූ චුල්ල පන්ථක හිමියන්ට ගාථා පදයක්වත් කටපාඩම් කරගත නොහැකි වූයේ ඇයි දැයි භික්ෂූන් වහන්සේලා බුදුපියාණන්ගෙන් ප්‍රශ්න කළහ.

එවිට මහා ශාන්ති නායකයාණෝ මෙසේ චුල්ල පන්ථක මහ රහතන් වහන්සේගේ අතීත කථාව පැහැදිළි කළහ.

කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලයේදී පැවිදි ජීවිතයක් ගතකළ චුල්ල පන්ථක හිමියෝ එකල වියත් තෙරණු කෙනෙක් වූහ. ඉගෙනීමෙහි දක්ෂ වූහ. එහෙත් උන්වහන්සේ වැඩසිටි පන්සලේ නුවණ මද, උගනීමෙහි අදක්ෂ, පාඩම් නොසිටින ස්වාමීන් වහන්සේ නමක් වූහ. එකල පණ්ඩිතමානි වැනි වූ චුල්ල පන්ථක හිමියෝ නුවණ මඳ හිමියන්ට නොයෙක් අපහාස උපහාස කරමින් සිනාසුනහ. එහි ප්‍රථිඵලයක් වශයෙන් රහ්තවීමට පින තිබූ උන්වහන්සේට ;මකල සිව් මසක් ගත වුවත් එක ගාථා පදයක්වත් පාඩම් කරගත නොහැකි විය.

චුල්ල පන්ථක හිමියන්ගේ කතාව පණ්ඩිතමානි නුවණ මඳ, නිසි උගත්කමක් නොමැති පුද්ගලයන්ට ගරහන, ඔවුන් හිනාවට උපහාසයට, අපහාසයට ලක් කරන අයට කදිම පාඩමකි.

යමක් පිළිබඳ ස්වල්ප දැනුමෙන් පවා බොහෝ දෙනා උඬගු වෙති. මානයට පත්වෙති එකී ස්වල්ප දැනුම අවියක් කරගෙන සතර වටේ වණති, වැඩියෙන් ඉදිමෙති. එහතේ නිසි දැනුමක් ලැබූ පුද්ගලයෝ කවර විටෙකත් මානයට පත් නොවෙති. උඩගු නොවෙති. අඩු දැනුමක් හා නිසි දැනුමක් ඇත්තෝම මානයට පත්වෙති.

///මාගේ ශාස්තෘන් වන ශාක්‍ය පුත්‍ර වූ බුදුරජාණන් වහන්සේ එහි පැමිණියහ. මාගේ හිස පිරිමැද්දේය. මාගේ අතින් අල්ලාගෙන සංඝාරාමයට ඇතුළු කරවීය. පිරිසුදු මෙය ගෙන පිරිමදිමින් එක්ත්පසෙක හිඳ මනාකොට ඉටුවවයි (සිහි කරවයි) කියා මට අනුකම්පාවෙන් ශාස්තෘන් වහන්සේ මට රෙදි කඩක් දුන්නේ ය.
මම එම රෙදිකඩ දෝතින් ගෙන පියුම සිහි කෙළෙමි. එහි (පියුමෙහි) මාගේ සිත නැවතී කෙලෙස් වලින් මිදුණේ ය. රහත්බවට පැමිණියේ ය. සියලු තන්හි මනෝමය ශරීරයෙන් නිර්මිත කිරීමෙහි පරතෙරට පැමිණියේ, සියලු ආශ්‍රවයන් ප්‍රහාණපරිඥ වශයෙන් දැන දුරුකළේ, ආශ්‍රව රහිතව (රහත්ව) වෙසෙමි. මේ සිවි පිළිසිඹියාවෝ ද, අෂ්ට විමොක්‍ෂයෝ ද, ෂඩ්අභිඥාවෝ ද සාක්‍ෂාත් කරන ලදිමි. බුදුරජාණන් වහන්සේගේ සසුන ද කරන ලදිමි. මේ මගේ අන්තිම ඉපදීමයි. මෙයින් මතු ඉපදීමක් නැත.\\\

{{{ එදා චුල්ලපන්ථක පොඩි හාමුදුරුවන්ට පිහිට වීමට ලොව්තුරු බුදු පියාණන් වහන්සේ වැඩමවා වදාළහ. නමුත් අද සසුන අතහැර නික්‌මීයන අපේ පොඩි හාමුදුරුවරු රැකගැනීමට ලොව්තුරු බුදු පියාණන් වහන්සේ වැඩවාසය කරන්නේ නැත. මා මේ ලිපිය ලියන්නේ එසේ සසුන අතහැර යන අසරණ පොඩි හාමුදුරුවරු වෙනුවෙන් ගිහි පැවිදි ඔබගේ අවධානය වඩාත් යොමුවනු ඇතැයි යන බලවත් විශ්වාසයෙනි. }}}

බක්කුල මහරහතන් වහන්සේ

බක්කුල මහරහතන් වහන්සේ

අමිතෝදන ශාක්‍ය රජුගේ පුත් අනුරුද්ධ මහරතන් වහන්සේ දිනක්‌ භික්‍ෂූන් වහන්සේ සියයක්‌ සමඟ කිඹුල්වත්පුරයේ නුගආරාමයකට වැඩියහ. මේ බව දැනගත් උන්වහන්සේගේ නෑ සමූහයා නිරතව පැමිණ නිතරම සුවදුක්‌ විචාරති. බොහෝ නෑයෝ පැමිණිය ද සිය නැඟණිය වූ රෝහිණී කුමාරිය නොපැමිනීම උන්වහන්සේට ප්‍රශ්නයක්‌ විය. එහිදී නැගෙන පැවසුවේ රෝහිණී කුමාරියට දද රෝගයක්‌ හටගෙන ඇති නිසා ඇය නිවසින් පිටතට නොපැමිණෙන බවය. සිය නැඟණිය මේ රෝගයෙන් මුදාගන්නේ කෙසේදැයි දිවැසින් බැලූ අනුරුද්ධ මහරහතන් වහන්සේ නිරෝගී බව පතා මහා සංඝරත්නයට විහාරයක්‌ කරවන ඇයට දැන්වීය.

ඒ අනුව ටික කාලයක්‌ තුළදී මේ විහාරය කරවා බුදුන්වහන්සේ ඇතුළු මහාසංඝයාට පුජා කරන ලදී. එහිදී බුදුන්වහන්සේ ප්‍රකාශ කළේ පෙර බවයක කළ කම් විපාක දීම නිසා මේ දද රෝගය වැළඳී ඇති බවය. මේ කුමරිය එක්‌ ආත්මයක බරණැස්‌ රජුගේ අගමෙහෙසියව සිටියදී ඒ රජුගේ තවත් බිසවක්‌ සමඟ උරණ වී ඇය නිදන ඇඳෙහි කහඹිලියා දැමීය. මේ නිසා ඇඟේ පලුහටගෙන දරුණු කැසීම් ඇති වී ශරීරය අවලස්‌සන විය. මේ පව නිසා රෝහණී කුමරියට මේ ආත්මයේදී දද හට ගැනිණි. කෙසේ නමුත් අවසානයේ මේ පිංකම නිසා දද රෝගය සුවපත්වී අවසානයේ සෝවාන් බව ලබන්නටද අනුරුද්ධ මහරහතන්ගේ නැගණියට හැකිවිය. ඉහත කතාව දැක්‌වූයේ නිරෝගී බව ලැබීම ලෙහෙසි පහසු දෙයක්‌ නම් නොවන බව පෙන්වීමටය. අප දැන් ප්‍රධාන කතාව දෙසට හැරෙමු.

ගෞතම බුද්ධ ශාසනයෙහි නිරෝගිමත් භික්‍ෂූන් අතර අගතැන්පත් වූයේ බක්‌කුල මහරහතන් වහන්සේය. උන්වහන්සේට නිරෝගීභාවය ලැබීමට සංසාරික වශයෙන් කළ පිංකම් බොහෝ දුරට හේතුවිය. බක්‌කුල හිමි මේ මහා භද්‍රකප්පයට පෙර බුදුවූ අනෝමදස්‌සි නම් බුදුන් සමයේ බ්‍රාහ්මණයෙක්‌ව උපන්නේය. පසුව අනෝමදස්‌සි බුදුන් කෙරෙහි පැහැදී බණ අසා පැවිදි විය. ඒ කාලයේ අනෝමදස්‌සී බුදුන්ට ඇති වූ උදරාබාධයක්‌ සුවකරන්නට මේ භික්‍ෂුවට හැකිවිය. ඒ රෝගය සුව කිරීමෙන් පසු බුදුන්වහන්සේ ඉදිරිපිට වැතිර මෙසේ ප්‍රකාශ කළේය. ස්‌වාමිණී ඔබ වහන්සේට කළා වූ මේ පුණ්‍ය කර්මයේ ආනුභාවයෙන් මා උපන් ජාතියේ මට කිසිදු ව්‍යාධියක්‌ නොවේවායි” කියා ප්‍රාර්ථනා කළහ. එයින් පසු උන්වහන්සේ බ්‍රහ්මලෝකයේ ඉපිද කල්ප ගණනාවක්‌ම බ්‍රහ්ම සම්පත්තිය විඳ පදුමුත්තර බුදුන් සමයේ හංසවතී නුවර මනුෂ්‍යත්ව භාවයක්‌ ලබා ඉපදුනේය. එහිදී ද පදුමුත්තර බුදුන්ගේ ශාසනයෙහි මහණව කටයුතු කරන සමයේ ඒ බුදුන්වහන්සේ නිරෝගිමත් භික්‍ෂූන් අතර අගතැන්පත් යෑයි එක්‌ භික්‍ෂූන් වහන්සේ නමක්‌ නම් කරනු දැකගත්තේය. එහිදී තමාද යම් දිනයක මෙලෙස අල්පාබාධික භික්‍ෂුන් අතර අග්‍ර තැන ලබන්නේ යෑයි ප්‍රාර්ථනාවක්‌ කළහ.

විපස්‌සී බුදුන්ගේ සමයෙහි බන්ධුමතී නුවර බ්‍රාහ්මණයකු ලෙස ඉපිද පසුව සියලු සම්පත් අතහැර හිමාලයේ තපස්‌ රැකීම සඳහා ගියේය. පසුව විපස්‌සී බුදුන්ගේ කෙරහි පැමිණ නිරන්තරව බණ ඇසීමට පුරුදුව සිටියේය. ඒ කාලයේදී විපස්‌සී බුදුන් ඇතුළු මහා සංඝරත්නය හිමාලයේ වැඩ වසද්දී විෂ සහිත වෘක්‍ෂයක මල්වලින් හමා ආ සුළඟක්‌ නිසා රෝගී විය. සියලු භික්‍ෂූන් වහන්සේ සුවපත් කිරීමට මේ තාපසයාට හැකිවිය. එයින් පසු කල්පයක්‌ මුළුල්ලේ දිව්‍ය හා මනුෂ්‍ය සම්පත් විඳ කාශ්‍යප නම් බුදුන් දවස බරණැස්‌ නුවර ඉපිද ජරාජීර්ණව ගිය පුරාණ විහාරයක්‌ දැක බලවත්සේ ශෝකයට පත්ව එය නැවත අලුත්වැඩියාව සඳහා පියවර ගත්තේය. එම විහාරයට දානශාලාවක්‌ ගිණිහල්ගෙයක්‌ වැසිකිළි කැසිකිළි ආදිය එක්‌කළේය. එමෙන්ම එම විහාරය සඳහා අවශ්‍ය සියලුම භාණ්‌ඩ ලබාදී මහා සංඝරත්නයට පූජා කළේය. එයින් ලැබුණු මහා කුසල සම්පත්තිය නිසා දිව්‍ය ලෝකයේ ඉදිප පසුව එක්‌ බුද්ධාන්තරයක්‌ මුළුල්ලේම දිව්‍ය මනුෂ්‍ය සැප අනුභව කළේය. අවසානයේ අප ගෞතම බුදුන් සමයේ කොසැඹෑ නුවර සිටුකුලයක උපන්හ.

මේ පින්වත් කුමරා දුටු සිටු මෑණියන් තම දරුවා පින්වත් කුමරෙක්‌ බව දැන දීර්ගායුෂ ප්‍රාර්ථනා කිරීම සඳහා උපත ලැබූ දිනයේම යමුනා ගංතෙරට පෙරහරින් යෑව්වේ ස්‌නානය කරවනු පිණිසය. කිරි මෑණියන් විසින් කුමරා නහවන විට එතැනට පැමිණ මත්ස්‍යයෙක්‌ ගොදුරක්‌ යෑයි සිතා මේ කිරි කැටියා ගිල දැමීය. මේ කුමරාගේ පුණ්‍යභාවය නිසා මත්සයා ගිලදැමුවද කිසි අනතුරක්‌ නොවීය. පසුව තිස්‌ යොදුනක්‌ ගිය මේ මත්සයා බරණැස්‌ නුවර ධීවර දැලකට පැටලී මරණයට පත්විය. ධීවරයෝ මේ මාලුවාගේ ප්‍රමාණය දැක රන්මසු දහසකට අලෙවිකරන බව පවසමින් බරණැස්‌පුර වීදිපුරා ගමන් කරන්නට විය. පසුව අසූකෝටියක්‌ ධනය ඇති දරුවන් නොමැති සිටුගෙදරකට මේ මත්ස්‍යයා අලෙවි කරන ලදී. බරණැස්‌ සිටු දියණිය මාළුවා කපද්දී බඩ ඇතුළේ සිටි කුමාරයා දැක වහාම ඔහු එළියට ගෙන සිටුවරයා වෙත දැන්වූයේ අපට රන්වන් දරුවකු ලැබුණු බව කියමිනි. මහ සිටුතුමාද මේ දරුවා දැක බලවත්සේ සතුටට පත්ව මහ පෙරහරින් ගොස්‌ මේ කුමරා බරණැස්‌ රජුට පෙන්විය. බරණැස්‌ සිටු පවුලකට මසකුබඩින් දරුවෙකු ලැබුණු බව දැනගත් කොසැඹෑ නුවර සිටු පවුල වහාම පැමිණ මේ ගැන පිරික්‌සා තම දරුවා බව කියමින් මේ ගැන රජුට පැමිණිලි කළහ. මේ නඩුව ඇසූ රජු කාලයෙන් කාලයට මේ දරුවා පෝෂණය කර රැකබලා ගන්නා ලෙස සිටු පවුල් දෙකටම දැන්වීය. මේ දරුවා නිසා සිටුවරුන් දෙදෙනාගේ ලාභ සම්පත්ද සීග්‍රයෙන් වැඩිවන්න විය. සිටුවරුන් දෙදෙනකු විසින් පෝෂණය කළ නිසා මේ කුමරා “බක්‌කුල” ලෙස මුළු රට පුරාම ප්‍රසිද්ධ විය. බක්‌කුල කුමාරයා වැඩිවියට පත්වූ විට ඔහුට සියලු සම්පතින් හෙබි මාලිගා හයක්‌ විය. ඒ සිටුවරු දෙදෙනාම මාලිගා තුන බැගින් බක්‌කුල කුමරුට සාදා දුන් නිසාය. මෙලෙස අසූ වසරක්‌ බක්‌කුල සිටුතුමා ගිහි සැප උපරිම ලෙස අනුභව කළේය.

බුදුන්වහන්සේ කොසඹෑ නුවරට වැඩි පසු බක්‌කුල සිටුතුමා වෙහෙරට ගොස්‌ බණ අසා බෙහෙවින් පැහැදී මහණවීමට තීරණය කළේය. සියලු සම්පත් අතහැර මහණ වූ බක්‌කුල හිමියෝ ටික දිනකින්ම රහත්භාවය ලබාගත්හ. බක්‌කුල මහරහතන් වහන්සේ සිය පැවිදි ජීවිතයද වසර අසූවක්‌ ගතකළද උන්වහන්සේට කිසිදු රෝගාබාධයක්‌ නොවීය. ඒ අතීතයේ සිදුකළ මහත් වූ කුසලයන් නිසාය.

2. ගෞතම බුදුරජානන් වහන්සේගේ ශාසනයේ දීර්ඝ ආයුෂ ලැබූ උතුමන්ලා

බක්කුල මහ රහතන් වහන්සේ අවුරුදු 160 ක් නීරෝගී. 
අනුරුද්ධ මහ රහතන් වහන්සේ අවුරුදු 150 ක් නීරෝගී. 
මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ අවුරුදු 140 ක් නීරෝගී. 
ආනන්ද මහ රහතන් වහන්සේ අවුරුදු 120 ක් නීරෝගී. 
විශාඛා මාතාව අවුරුදු 120 ක් නීරෝගී

3. බක්කුල සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙමේ රජගහනුවර සමීපයෙහිවූ, කලන්දකනිවාප නම්වූ, වේලුවනාරාමයෙහි වැඩ වෙසෙයි. එකල්හි ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙමේ, පැරණි ගිහි යහලුවෙක්වූ, අචේල කාශ්‍යපතෙම , ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම යම් තැනකද, එහි පැමිණියේය. පැමිණ ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන් සමග සතුටු විය. සතුටුවිය යුතු කථා කොට නිමවා, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ අචේල කාශ්‍යප තෙම ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගෙන් මෙසේ ඇසීය.
2. ´´ඇවැත් බක්කුලය, මහණවී කොපමණ කල් වෙහිද?´´
´´ඇවැත්නි, පැවිදිවූ මට අවුරුදු අසූවකි.´´
´´ඇවැත් බක්කුලය, මේ අසූ වයස් කාලයෙහි ඔබ විසින් කී වරක් මෙවුන්දම් සෙවුනා ලදද?´´
´´ඇවැත් කාශ්‍යපය, මගෙන්, ´ඇවැත්නි, බක්කුලය, ඔබ විසින් මේ අසූ වයස් පමණ කාලය ඇතුලත කී වරක් මෙවුන්දම් සෙවුනා ලදදැ´ යි මෙසේ නොඇසිය යුතුයි. ඇවැත් කාශ්‍යපය, මගෙන් මෙසේ ඇසිය යුතුය. කෙසේද? ´ඇවැත් බක්කුලය, මේ අසූ වයස් කාලයෙහි ඔබට කී වරක් කාම සංඥාව පහළ වූයේදැ´ යි ඇසිය යුතුය.´´
´´ඇවැත් බක්කුලය, මේ අසූ වයස් කාලය තුල කී වරක් ඔබට කාම සංඥාව උපන්නේද?´´
´´ඇවැත් කාශ්‍යපය, පැවිදිවූ මට අවුරුදු අසූවකි. ඒ කාලය තුල කාම සංඥාවක් උපන් බවක් නොදනිමි.´´
´´යම් හෙයකින්, ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම වස් අසූවක් කාලය තුල කාම සංඥාවක් උපන් බවක් නොදනී නම්, ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ මෙයද ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයකැයි අපි දරමු.´´
3. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මට ව්‍යාපාද සංඥාවක්, විහිංසා සංඥාවක් උපන් බවක්ද මම නොදනිමි.´´
´´යම් හෙයකින් අසූ වයස් ඇති ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම ඒ කාලය තුල යම් ව්‍යාපාද සංඥාවක්, විහිංසා සංඥාවක් උපන් බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
4. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මට කාම විතර්‍කයක් උපන් බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම වස් අසූවකින් යම් කාම විතර්‍කයක් උපන් බවක් නොදනී නම්, මෙයද ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
5. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මට ව්‍යාපාද විතර්‍කයක්, විහිංසා විතර්‍කයක්, උපන් බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම වස් අසූවකින් යම් ව්‍යාපාද විතර්‍කයක්, විහිංසා විතර්‍කයක්, උපන්බවක් නොදනී නම්, මෙයද ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
6. ´´ඇවැත්නි, පැවිදිව අසූ වර්‍ෂයක්වූ මා විසින් ගෘහපති චීවරයක් ඉසිලූ බවක් නොම දනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම වස් අසූවකින් යම් ගෘහපති චීවරයක් නොදැරී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
7. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මා විසින් ආයුධයකින් සිවුරක් කැපූ බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම වස් අසූවකින් ආයුධයකින් සිවුරක් කැපූ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
8. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මා විසින් ඉදිකටුවෙන් සිවුරක් මැහූ බවක් නොම දනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම වස් අසූවකින් ඉදිකටුවෙන් සිවුරක් මැහූ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
9. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මා විසින් පඬුවලින් සිවුරක් පෙවූ බවක් නොම දනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම වස් අසූවකින් පඬුවලින් සිවුරක් පෙවූ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
10. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මම කඨිනසිවුරක් මැහූ බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම වස් අසූවකින් කඨිනයෙහි සිවුරක් මැහූ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
11. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මම සමාන බ්‍රහ්මචය්‍යාව ඇත්තවුන්ගේ චීවර කර්‍මයෙහි යෙදුන බවක් නොම දනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම වස් අසූවකින් සමාන බ්‍රහ්මචය්‍ර්‍යාව ඇත්තවුන්ගේ චීවර කර්‍මයෙහි යෙදුන බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
12. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මා විසින් ආරාධනයක් ඉවසූ බවක් නොම දනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම වස් අසූවකින් ආරාධනයක් ඉවසූ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
13. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මට මෙබඳු සිතක් උපන් බවක් නොදනිමි. ´කිසිවෙක් මට ආරාධනය කරන්නේ නම් ඉතා යෙහෙකැ´ යි කියායි.
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම වස් අසූවයසකින් මට ආරාධනයක් කරන්නේ නම් යහපතැයි සිතක් උපන් බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
14. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මම ගම තුළ හුන් බවක් නොම දනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම වස් අසූවකින් ගමෙහි හුන් බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
15. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මට ගමෙහි අනුභව කළ බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් අසූ වයස් ඇති ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම ගමෙහි අනුභව කළ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්මයෙකැයි අපි දරමු.´´
16. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මට කුඩා සලකුණු වශයෙන් ස්ත්‍රියකගේ නිමිති ගත් බවක් නොම දනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් කුඩා සලකුණු වශයෙන් නිමිති ගත් බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්මයෙකැයි අපි දරමු.´´
17. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මම මාගමකට යටත් පිරිසෙයින් සතර පද ගාථාවකින් වත් දහම් දෙසූ බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම වස් අසූවකින් ස්ත්‍රියකට යටත් පිරිසෙයින් සතර පද ගාථාවකින්වත් දහම් දෙසූ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්මයෙකැයි අපි දරමු.´´
18. ´´ඇවැත්නි, පැවිදිවූ අසූ වයස් ඇති මා විසින් භික්‍ෂුණී ආශ්‍රමයකට පැමිණි බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් භික්‍ෂුණී ආශ්‍රමයකට පැමිණි බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්මයෙකැයි අපි දරමු.´´
19. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මම භික්‍ෂුණියකට දහම් දෙසූ බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙමේ පැවිදිව අසූ වයස්වද භික්‍ෂුණියකට දහම් දෙසූ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
20. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මම හික්මෙන්නියකට (සික්ඛමානාවකට) දහම් දෙසූ බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසෙකින් හික්මෙන්නියකට දහම් දෙසූ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
21. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මම සාමණේරියකට දහම් දෙසූ බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් සාමණේරියකට දහම් දෙසූ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
22. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මම (කෙනෙකු) පැවිදි කළ බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් (කෙනෙකු) පැවිදි කළ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
23. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මම (කෙනෙකු) උපසම්පදා කළ බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් (කෙනෙකු) උපසම්පදා කළ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
24. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මම (කෙනෙකුට) නිස දුන් බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් (කෙනෙකුට) නිස දුන් බවක් නොදනියි නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
25. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මම සාමණේරයක්‍ර ලවා උපස්ථාන කරවා ගත් බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් සාමණේරයකු ලවා උපස්ථාන කරවා ගත් බවක් නොදනියි නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
26. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මම ගිනිහල් ගෙයි නෑ බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් ගිනිහල් ගෙයි නෑ බවක් නොදනියි නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
27. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මම ඇඟ ගානා සුනු ගා නෑ බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් සුනු ගා නෑ බවක් නොදනියි නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
28. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මම සමාන බ්‍රහ්මචය්‍ර්‍යාව ඇත්තවුන් අත් පා මෙහෙවරෙහි යෙදූ බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් සමාන බඹසර ඇත්තවුන් අත් පා මෙහෙවරෙහි යෙදූ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
29. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මට අන්තිම වශයෙන් දෙනකගෙන් කිරි බින්දුවක් දෝනා කලක් පමණවත් ආබාධයක් උපන් බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් අන්තිම වශයෙන් දෙනකගෙන් එක් කිරි බින්දුවක් දෝනා කලක් පමණ ආබාධයක් ඇතිවූ බවක් නොදනියි නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
30. ´´ඇවැත්නි, අසූ වයස් ඇති මට අන්තිම වශයෙන් අරළු කැබැල්ලක් පමණවත් බෙහෙතක් පරිහරණය කළ බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් අන්තිම වශයෙන් අරළු කැබැල්ලක් පමණවත් බෙහෙතක් පරිහරණය කළ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
31. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මම හේත්තුවන පුවරුවක හේත්තුවූ බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් හේත්තුවන පුවරුවක හේත්තුවූ බවක් නොදනියි නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
32. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මම සයනය කළ බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් සයනය කළ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
33. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මම ග්‍රාමාන්ත සේනාසනයක වස් වුසූ බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් ග්‍රාමාන්ත සේනාසනයක වස් වැසූ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
34. ´´ඇවැත්නි, මම කෙලෙස් සහිතව සත් දවසක් පමණක් රටවැසියාගේ පිණ්ඩපාතය අනුභව කෙළෙමි. ඉක්බිති අටවෙනිදා අර්‍හත්වය පහළවිය.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම කෙලෙස් සහිතව රටවැසියාගේ පිණ්ඩපාතය සත් දවසක්ම අනුභව කෙළේ නම්, අටවෙනිදා අර්‍හත්වය පහළවීනම් මෙයද. ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
35. අචෙල කාශ්‍යප තෙම, ´´ඇවැත්නි, බක්කුලය, මම මේ ශාසනයෙහි පැවිදිබව ලබන්නෙමි. උපසම්පදාව ලබන්නෙමි´´ යි කීය.
´´අචෙල කාශ්‍යප තෙම මේ ශාසනයෙහි පැවිදිබව ලැබීය. උපසම්පදාවද ලැබීය. ආයුෂ්මත් කාශ්‍යපතෙමේ උපසපන්වී නොබෝකල් ඇත්තේ, හුදකලාවූයේ, ජනයාගෙන් වෙන්වූයේ, පමා නොවූයේ, කෙලෙස් තවන වීය්‍ර්‍යය ඇත්තේ, දුරුකරනලද කාය ජීවිත ආශා ඇතිව වාසය කරන්නේ, නොබෝ කලකින්ම කුල පුත්‍රයෝ යමක් පිණිස මනාකොට ගිහිගෙයින් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිදිවෙත්ද, බ්‍රහ්මචය්‍ර්‍යය කෙළවරකොට ඇති, ඒ උතුම් අර්‍හත්වය මේ ආත්මභාවයෙහිම තෙමේම විශේෂ නුවණින් දැන ප්‍රත්‍යක්‍ෂකොට, ඊට පැමිණ වාසය කළේය. උත්පත්තිය ක්‍ෂය විය. බ්‍රහ්මචරියාවෙහි හැසිර නිමවන ලදී. කළයුත්ත කරන ලදී. මෙයින් පසු කළයුතු අනෙකක් නැතැයි දැනගත්තේය. ආයුෂ්මත් කාශ්‍යප තෙම රහතුන්ගෙන් එක්තරා කෙනෙක් විය.
36. ඉක්බිති ආයුෂ්මත් බක්කුල සථවිරතෙම අන් කලෙක යතුර ගෙන විහාරයෙන් විහාරයට ගොස්, ´´ආයුෂ්මත්වරුනි, නික්මෙව්. ආයුෂ්මත්වරුනි, නික්මෙව්. අද මාගේ පිරිනිවීම වන්නේය´´ යි කීය.
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම යතුර ගෙන විහාරයෙන් විහාරයට ගොස්, ´´ආයුෂ්මත්වරුනි, නික්මෙව්. ආයුෂ්මත්වරුනි, නික්මෙව්. අද මාගේ පිරිනිවීම වන්නේය´´ යි කීයේද, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයකැයි අපි දරමු.
´´ඉක්බිති ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙමේ සඞ්යා මැද හිඳගෙනම පිරිනිවියේද, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයකැයි අපි දරමු.´´
සතරවැනි බක්කුල සූත්‍රයයි.

මිනිස් සිත් සතන් තුළ සනාතනිකව පවතින මානසික තත්ත්වයකි

මිනිස් සිත් සතන් තුළ සනාතනිකව පවතින මානසික තත්ත්වයකි

වෛරය, පාලි භාෂාවෙහි මෙය ‘වේර’ යන වචනයෙන් දක්වා තිබේ. තමා පිළිබඳව තම සමීපතමයන් පිළිබඳව ඇතිකර ගන්නා එම ස්වභාවය නිසා මිනිසා අවුලෙන් අවුලට පත්වේ. සාමාන්‍ය මිනිසා කල්පනා කරනු ලබන්නේ තමන්ගේ මනසට ඇතිවන වෛරී අදහස නිවැරදි අදහසක් ලෙසය. එය අනුන් තුළ හටගන්නා විට වැරැදි අදහසක් ලෙසය. මෙසේ වීමට හේතු වන්නේ සාමාන්‍ය මිනිස් ස්වභාවය තමන් කරන දෙය නිවැරදි යැයි පෙන්වීමට තර්ක ගොඩනැගීම නිසාය.

තම සිතෙහි ඇතිවන්නා වූ වෛරී ස්වභාවය කලක් ඒ මතයේම සිටින විට එය බද්ධ වෛරයක් බවට පත්වේ. වෛරය සාමාන්‍ය වශයෙන් කෙටිකාලීන එකක් ලෙස දැක්විය හැකි වුවද බද්ධ වෛරය එසේ නොවේ. එය ඇතැම් විට ජීවිත කාලය පුරාම විය හැකිය. ඇතැම් විට සංසාරය පුරා දිවෙන ගැටලුවක් විය හැකි. වෛරයක් ඇතිවන්නේ අන්‍යයා සිතාමතාව තමන්ට අසාධාරණයක් කළායැයි කල්පනා කරන හෙයිනි. ඇතැම් විට තම මනසෙහි පවතින යම් යම් අඩුලුහුඬුකම් නිසාද විවිධ අය සමඟ වෛර බැඳගන්නෝ ද වෙති. වෛරයක් බැෙඳන්නේ කිසියම් හෝ ලෙසක දැන හැඳුනම්කමක් ඇති පුද්ගලයකු සමග වීම වෛරය ඇතිවීමේ විශේෂත්වයකි.

වෛරයට විසඳුම වෛර කිරීම යැයි කල්පනා කරන්නේ ධර්මානුකූල ශික්ෂණයෙන් තොර සාමාන්‍ය ප්‍රජාවයි. ධර්මානුකූ®ල දැනුම් තේරුම් ඇති මිනිසා කල්පනා කරන්නේ වෛරයට විසඳුම එයට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවකින් ප්‍රතිචාර දැක්වීමක් ලෙසයි. එනම් වෛර කරන්නාට ඊට ප්‍රතිවිරුද්ධ සංකල්පය වන මෙත් වැඩීම, මෙත් පැතිරවීමය. වෛරය සමාජය දුකට නැඹුරු කරවන සංකල්පයකි. එය මිනිස් ස්වභාවයක් නොවේ. ඇතැම් මිනිසුන් තුළ ඒ ස්වභාවය පවතින විට පුද්ගලයාටද එම සංකල්පයම අදාළ කතා කිරීම සිරිතය. එනම් වෛරක්කාරයා යනුවෙනි. වෛරයට විසඳුම විය යුත්තේ මෛත්‍රිය දැක්වීමය. එය හුදෙක් වෛරක්කාරයාට මෙත් වැඩීම යැයි වරදවා වටහාගත යුතු නොවේ. වෛරය ද මෛත්‍රීය ද එකිනෙකට ප්‍රතිවිරුද්ධ සමාජ සංකල්ප දෙකක් බව වටහා ගත යුතුය. බුදුදහමෙන් මිනිසාට අවබෝධ කරදීමට උත්සාහ කරනු ලබන්නේ ‘වෛරය’ නොදැමුණු මිනිස් ස්වභාවයක් බවය. ‘මෛත්‍රීය’ දැමුණු මිනිසුන්ගේ ස්වභාවයක් බවය. ‘මෛත්‍රියට’ වඩා ‘වෛරය’ ප්‍රබලය. එය රැහැනකි. එසේ රැහැනේ බැඳී එහි ගැලී ඒ තුළින්ම විසඳුම් සොයන මිනිසා සංසාරය පුරා බොහෝ දුක් විඳින බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබේ.

න හි වේරෙන වේරාණි
සම්මන්තී ධ කුචාචනං
අවේරේන ච සම්මන්ති
ඒස ධම්මෝ සනන්තනෝ’

වෛරයට විසඳුම වෛරය නොවේ. වෛරයෙන් වෛරය නතරවීමක් සිදු නොවේ. වෛරයට විසඳුම වෛර නොකිරීමයි. එය ලෝකයේ හැමදාම පවතින ධර්මතාවයකි. මෙම සනාතනික දහම සමාජයට දේශනා කිරීමට බුදුරජාණන් වහන්සේට හේතු වූයේ ‘කාලී’ නමැති යකින්නක් උදෙසාය. වෛරය සාමාන්‍යයෙන් යක්ෂ ස්වභාවයක්ම ගනි කුදු එහි ආරම්භක අවස්ථාව ඇතිවන්නේ මිනිස් මනස තුළය. නොදැමුණු මිනිස් මනස වෛරයම බලාපොරොත්තුවෙන් සමාජයේ හැසිරෙයි. දිනපතා ඔවුන් එකතු කරන්නේ තමාගේ වෛරක්කාරයන් ය. ‘කාලි’ යක්ෂණිය තුළ මෙබඳු වෛරයක් හටගැනීමට හේතු වූයේ එම ආත්මයේ සිද්ධියක් නොවේ. නමුත් යක්ෂණියක් වීම දක්වා ඇයගේ් සංසාර ගමන දික්වූයේ වෛරයේ බරපතලකම නිසාය.

සැවැත්නුවර පෙර ජීවත් වූ එක්තරා තරුණයෙක් පියාගේ ඇවෑමෙන් මවගේ අනුමැතිය ඇතිව විවාහයක් කරගනු ලැබීය. විවාහයෙන් බොහෝ කලක් ගතවුවද ඇයට දරුවන් නො ලැබුණේය. එමනිසා ඇයගේද මවගේද අනුමැතිය ඇතිව එම විවාහකයා වෙනත් බිරිඳක් ගෙදරට කැඳවාගෙන ආවේය. එම කාන්තාවන් දෙදෙනාම පුරුෂයාට සෙනෙහෙබර බිරිඳක්ව සපත්නීන් ලෙස කටයුතු කළෝ ය. කල්ගත වනවිට නව බිරිඳට දරුවකු ලැබීමේ ලකුණු පහළ වනවිට අනෙක් බිරිඳගේ සිතෙහි රෝෂයක් (වෛරයක්) ඇති විය. නමුත් එය ඇය අනෙක් තැනැත්තියට නො ඇඟෙව්වාය. හිතවත්කමද, සුහදත්වයද පෙන්වමින් ඇයට කෑමබීම ආදිය පිළියෙල කර දුන්නාය. හොර රහසින් කුසෙහි වැඩෙන දරුගැබ විනාශවීමට බෙහෙතක් ද පිළියෙල කොට දුන්නාය. දෙදෙනා අතර පවතින සුහදත්වය නිසාම දරුගැබ විනාශ වීම පිළිබඳ අනෙකිය සමග සැක සංකා පහළකර නොගත් අතර දෙවන දරුවාද කුසෙහිදීම විනාශ වී යාම නිසා ඇය පිළිබඳව සැකකොට තෙවැනිවර පිළිසිඳ ගත් දරුවා පිළිබඳ අදහස සඟවා ගත්තීය. කෙමෙන් ගැබ මෝරා යන විට රහස වසන් කළ නොහැකි විය. ඒ අනුව දෙදෙනා අතර බහින්බස් වීමද අනෙක් තැනැත්තිය විසින් සුහදත්වයම පෙන්වා ගෙන ඉදිමින් තෙවැනි වරද දරුවා විනාශ කිරීමට උපායක් යෙදුවාය. ඒ අවස්ථාව වනවිට කුසෙහි දරු ගැබ මෝරා තිබූ නිසා ඒ බෙහෙතින් කුසෙහි මෝරා වැඩෙමින් සිටින දරුවාද මවද මිය ගියෝය. මියයන අවස්ථාවේ ඇය අනෙකියට වෛර කළාය. මගේ දරුවන් තිදෙනෙක්ම නැසීමේ පළිය කෙසේ හෝ ගන්නවාය යැයි සිතුවාය. ඒ වෛරයෙන්ම මරණයට පත් විය. දෙදෙනා අතර සුහදකම නිසා පසුව හටගත් නොමනාපය වෛරයක් වී පසුව බද්ධ වෛරයක් බවට පත්වූවාය. සංසාරය පුරා වෛරය ඇදී ගියේය. වෛරයෙන් වෛරය දිගින් දිගටම ඇදී ගියා මිස නතර වීමක් සිදුවූයේම නැත. ‘කාලී’ යක්ෂණිය ලෙස බුද්ධ කාලයේ උපත ලබා අනිකියගේ දරුවන් කෑමට පුරුදු වූයේ මේ සංසාර පුරුද්ද නිසාය. සසර පුරුදු සුබවාදී ලෙසට ඉටුනොවන අවස්ථා පවතින බව මින් පෙනේ. සමාජයේ කිසිදු හේතු සාධක විරහිතව මිනිසුන් අතර ඇතිවන බරපතල ගැටුම්වලට හේතු සාධක සංසාරික හේතු ලෙස අර්ථ විග්‍රහ කළහැකි වන්නේ මෙබඳු කරුණු පදනම් කරගෙනය.

මේ කතාවෙන් හෙළිවන තවත් කරුණක් ලෙස ගැබ් හෙළීම දැක්විය හැකිය. සමාජයේ මිනිස් කැමැත්තෙන් සහ අකමැත්තෙන් කිසියම් හෝ ලෙසක පැවතී තිබෙන බව මින් පෙනේ. බුදුදහමෙහි දක්වන්නේ කුසෙහි වෙසෙන දරුවා පිළිසිඳ ගැනීමක් වුවද කෙනෙක් විනාශ කරනු ලබයි නම් හෝ එය අනුමත කරයි නම් හෝ එයට අනුබල දෙන්නේ නම් හෝ එය ප්‍රාණඝාත අකුසලයක් බවයි. එය බරපතල විපාක ලැබීමට හේතුවන අකුසලයකි. බුදුරජාණන් වහන්සේ මෙම කරුණ අරබයා දේශනා කරනු ලැබුයේ ගැබ් හෙළීමේ පාපය සම්බන්ධ විපාකය පිළිබඳව නොවේ. මේ සිද්ධියට මූලකාරණා සැකසෙන්නේ එනිසාම නොවේ. එය අතුරු ඵලයකි. මූල හේතුව වන්නේ කාන්තාවකගේ සිතෙහි අනෙක් තැනැත්තිය පිළිබඳව හටගත් නො මනාපයයි. එයට හේතු වූයේද තමාට නොලැබුණු දෙයක් අනෙක් තැනැත්තියට ලැබීම නිසා ගෘහය තුළ ඇයට තමාට වඩා වැඩි වරප්‍රසාද ලැබේවිය යන අනුමාන සිතිවිල්ලයි. එම නරක සිතිවිල්ල විසින් ඇය වරදකට පොළඹවනු ලැබුයේ ඇයගේ නොදැමුණු මනසයි. ඇය එම නොමනාපය පිටකරනු ලැබුයේ බරපතල වරදක් සිදුකිරීමෙනි. සාමාන්‍යයෙන් අම්මා කෙනෙක් කල්පනා කරන්නේ තමාට වරදක් කිරීමට වඩා තම දරුවන්ට වරදක් කිරීම බරපතල සිද්ධියක් ලෙසය. මෙහිදී සිදුවන්නේ ඊටත් වඩා බරපතල දෙයකි. එනම් මෙළොව එළිය දැකීමට සිටින දරුවෙකුට හිතාමතාම එම අවස්ථාව අහිමි කිරීමය. එනිසා එම අම්මා තුළ ඇතිවුන වෛරය සාධාරණ එකක් ලෙස කෙනෙකුට කල්පනා විය හැකිය. නමුත් බුදුදහම දක්වන්නේ වරද වරද ලෙස මිස සාධාරණ වැරැදි ලෙස නොවේ. කෙනෙකු වරදක් කළ පසු එබඳු වරදක් තමාද කිරීම නොදැමුණු සාමාන්‍ය සමාජයේ සිරිත වුවද බුදුදහම මිනිසාට අවවාද කරනු ලබන්නේ සුළු වරදක් වුව පුද්ගලයකුට හෝ සමාජයට එරෙහිව නොකළ යුතු බවය. කෙනෙක් පුද්ගලයකුට එරෙහිව කරන වරදට වඩා පොදු සමාජයට එරෙහිව කරන වරද බරපතලය. නීතියෙහි වුවද සලකන්නේ එපරිදිය. ඒ අනුව නීතිය පිළිගන්නේ පළමු වරද සිවිල් වරදක් හැටියටය. එයට දඬුවම් කරනු ලබන්නේ ද සිවිල් නීතිය යටතේය. දෙවැනි වරද අපරාධයක් ලෙස එයට දඬුවම් කරන්නේ අපරාධ නීතිය යටතේ්ය. මේ සිද්ධියෙහි එන කාන්තාව කළ වරද වරද ඉක්මවා අපරාධය දක්වා වැඩුණු එකක් වශයෙන් කල්පනා කළ හැකිය. බුදු දහමෙහි දක්වන්නේ අපරාධයටත් එහා ගිය මානසික නොමනාපය (බද්ධ වෛරය) බරපතල බවය.

බුදුරජාණන් වහන්සේ මෙහිදී සමාජයට පැහැදිලි කරන අදහස සාම්ප්‍රදායික සමාජ චින්තනය ඉක්මවා ගිය කාරණාවකි. මිනිසා හැම අවස්ථාවකම ක්‍රියාත්මක වන්නේ සාම්ප්‍රදායික සමාජ රාමුවෙහි බැසගෙනය. සිතන්නේද කියන්නේද කරන්නේද එපරිදිමය. දහමෙහි එන කරුණු ජීවිතයට ඇතුළත් කර නොගෙනම ඒවා දැනුම පිණිස පමණක් තබාගනී. සිද්ධියක් පැමිණි පසු සාම්ප්‍රදායික රාමුවකින් ඊට පිළිතුරු සොයන්නට වෙහෙස ගනී. ඈත අතීතයේ සිදුවූ මෙම දේශනාවට පසුබිම වූ සිද්ධිය තුළද පසුබිම එපරිදිය. තවද ජීවත් වූ මිනිසා තමා පිළිබඳව සිතන විට ‘මං නිවැරදි මම කළ වැඩේ හරි ඒ දේ නොකළානම් ඒ වෙලාවේ වෙන කළ හැකි දෙයක් තිබුණේ නැහැ’ ආදි වශයෙන් සිතති. මේ නිසාම බණ දහමේ කරුණු නිවැරැදිව දැන උගෙන සිටියත් ක්‍රියාත්මක වීම අතින් තරමක අඩුබවක් දක්නට ලැබේ. බුදුදහමෙහි උගන්වනු ලබන්නේ සිතා විමසා කටයුතු කළ යුතු බවය. සාමාන්‍ය මිනිසා එබදු දෙය පිළිබඳ හිතන්නේ එය තමාගේ පරාජයක් ලෙසය. නමුත් ක්‍ෂණයක ලැබෙන ජයග්‍රහණයට වඩා සිතා විමසා කටයුතු කරන්නේ දීර්ඝ කාලීන බොහෝ ජයග්‍රහාණ ලබයි. මෙය සමාජයට කියාදීමට කාලි යක්ෂණිය සිද්ධිය හොඳ නිදසුනක් බව පෙනේ.

මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමි

තෙරුවන් සරණයි!

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

මරණභිරුක භික්ෂූ කෙණකුන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලදි

මරණභිරුක භික්ෂූ කෙණකුන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලදි

තවද මහපොළොවසේ විපුලවූ ගුණ ඇති තිලෝගුරු බුදුරජානන් වහන්සේ වේළුවනාරාමයහි වැඩ වසන සමයෙහි මරණභිරුක භික්ෂූ කෙණකුන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්

එක් භික්ෂූකෙණෙකුන් වහන්සේ රාත්‍රී ස්ථාන දිව්‍යස්ථාන චංක්‍රමන ස්ථානයට ගියතෙන පරඬලාපතත්වත් කොටුවක්වත් පක්‍ෂිකෙණෙකුන් අඬාපුවක් වත් අසා මරණභයින්න භිරුකව වාසය කරණ කල්හි මේ කථාව දම්සභාමණ්ඩපයේ රැස්වු මාළුවරුන් වහන්සේ කිය කියා වැඩඋන් තෙනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහණෙනි මා එන්නාට පූර්ව භාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා එපවත් අසා සර්වඥයන් වහන්සේ මහණෙනි මේ භික්ෂූහු දැන්මතුනොවෙයි පළමුත් මරණභයින් යුක්තව විසුවෝ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

ඒ කෙසේද යත්

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයෝ එක් ඊරියකසේ කුස පිළිසිඳගත් කල්හි නොබෝකලනින් වැදුහ. දෙවැනිව කුඩා ඌරුපැටියෙකුත් වැදූහ. ඌරු පැටියන් දෙන්නා තුරුල්ලේ ලාගණ ඊරිය වැදොත්තැනට මෑල්ලක් තමාගේ කපුසේනට ගොසින් කපුකඩාගෙණ එනතැනැත්තී ඊරිය වැදොත්තෙනට ආවා, ඊරිය තමා මරති යන භයින් පැටියන් දෙන්නා වැදොත්තදි පළාගියහ. මැලි ඌරුපැටියන් දෙන්නාගෙණ මහපැටියාට මහා ඩිලයෝය කුඩා පැටියාට කුඩාතුඩිලයෝයයි නම් තිබා ඌරු පැටියන් දෙන්නා පුත්‍ර ප්‍රේමයෙන් වඩන්නේය. එසමයෙහි රාසොඬුන් එක් දවසක් රා බී මාංශනොලැබ අසවල් මෑල්ලාගේ ගෙයි ඌරෝ ඇත. උන් අතින් ඇරගෙණ මරාකම්මැයි කියා අවුත් කියන්නාහ. මෑල්ල තොපගේ ගෙයි වඩන ඌරෝ ඈත අපගෙන් මිල ඇගෙණ උන්දෙවයි කීහ. මෑලි කියන්නී මාගේ දරුවන් දීපියා දමා සම්පත් ලබන්නේයයි කියා නොගිවිස්සා රා සොඬු මෑල්ල රා පොවා මත්කොට කියන්නාහු අපට ඌරන් දෙව්වැයි විචාළේය. මෑලි රා බී මත්ව යාපත දෙමි ඉනුත් මාගේ වැඩිමහළු තුඩිලයන් නොදෙමි කුඩා තුඩිලයන් දෙමි කීහ.

යහපතැයි මෑලි පුත්චුල්ල කුඩිලයෙනි මෑත එවයි අෟගාළූහ. බෝධිසත්වයෝ සිතන්නාහු මාගේ මෑනියෝ මෙතෙක් දවසක් පළමුවෙන් මට අඬාගාතොත් විනා චුල්ල තුඩිල්ලයන් අඬනොගාතිය අද යම්සේ මෑනියන්ට භයෙක් ඇතමැනවැයි සිතා මල තුඩිලයෙනි තොපගේ මෑනියෝ තොපට අඬගාතියි ඔබට යවයි කිව. යහපතැයි චුල්ල තුඩිලයෝ මෑනියන් සිටිනා තැනට වෙවුලා බෑනන් කරා ගියහ.

මහතුඩිලයෝ කින්දැයි විචාළකල මෑනියන් හා රා සොඬු වටකොට ගෙණ සිටිනියාවත් බත් ඔරු තිබූනියාවත් දැක භයින් ත්‍රස්තව දිවආමි කීහ. බෝධිසත්වයෝ මළනුවන්ට කියන්නාහු මල ඌරන් ගෝනන් මුවන් ආදීවූ සිව්පාවන් වඩන්නේ අනික් නිසා නොවෙයි යමෙක්වේලේ මරන්ටමය එසේ පැමිණ මරණට හිරුකවිමෙන් කම්කිම්දැයි කියන්නාහු අවවාද බරණැස් නුවර මුලුල්ලට සැලව ගිය හෙයින් රජ්ජුරුවන් හා නුවරවාසීන් එක්වී බෝධි සත්වයන් උන්නාවූ බැද්ද වට කොට ගත්හ. බෝධිසත්වයෝ මලනුවන්ට අවවාද කියන්නාහු මලනුවෙනි යහපත්ව පෑදී තිබෙන පැනෙන් ඉස්සෝදා නාහා ඇඟ කුණු ඇර පියව ශරීරයේ නොයෙක් සුගන්ධයන් ගාගනුවයි අවවාද කීහ. එවිට කුඩා කුඩිලයෝ කියන්නාහු අපගේ ඌරන්ගෙන් කුනුඅරවා වාසය කළ කෙණෙක් ඇද්ද.ශරීරයෙහි යහපත් සුගන්ධය ගෑ කෙණෙකුන් නැතිව ඉන්දදී බෑනන් වහන්ස. මේ කුමට කියන කාරණයෙක් දැයි විචාළාහ.

බෝධිසත්වයෝ එවිට මා කීයේ විලට බැස අකුසල් නැමති ශරීර මලය පහකොට කුසල් නැමති මනාවූ තොටට බැස නාහා සියලු දවස් ශරීරය නොහැර පවත්නාවූ සිල් නැමති සුගන්ධය ශරීර යේ ගල්වන්ට මා කියේ යයි කියා මලනුවෙනි යම් කෙනෙකුන් අකුසලයක් කෙරෙත් නම් ඊට සතුටූවිමෙන් දුක් බොහෝ දෙලොවටම පැමිණෙන්නේය. යම් කෙණකුන් කුසලයක් කෙරෙත් නම් ඊට සතුටු වීමෙන් දෙලොවම සැප ඵලවන්නේය. එසේ හෙයින් අකුසලය කරණ කෙණෙකුන්ටවත් සිතන කෙණෙකුන්ටවත් සතුටුවීමෙන් මරණාසන්නයෙහිත් සෙසු වේලෙහිත් මහාභය පැමිණෙන්නේය. එසේහෙයින් එසේවූ අකුසලය ශීල නමැති සුගන්ධය ශරීරයේ ගල්වා ගනුවයි කීය. බෝධිසත්වයන් බුද්ධවිලාසයෙන් ඉඳ කියන්නාවූ අවවාද රජ්ජුරුවා් අසා මහා සමාධිව බෝධිසත්වයන් යහපත් ඉනකඩකුත් අඳවා මාණික්‍යභරණයකුත් පලඳවා බෝධිසත්වයන් වැවු මෑල්ලටත් බොහෝ සම්පත් දී බෝධිසත්වයන් හා මලනුවන් ද බරණැස් නුවරට ගෙණගොස් රජගෙයි ඉන්නට සලස්වා සියලු අධිකරණ ආදීවූ යුක්ති අයුක්ති බෝධිසත්වයන් විචාරා මැදහත්ව නිශ්චයකොට සියලු මනුෂ්‍යයන්ට පන්සිල් අටසිල් ආදීවූ දානාධ්‍යසයෙහි පිහිටුවා අපායට යානොදි සුගතියට පමුණවන්නාහ. බොහෝ කලකින් බරණැස් රජ්ජුරුවෝ මළහ. බෝධිසත්වයෝ රජ්ජුරුවන්ට කළමනා ආදාහණ කෘත්‍යකොට නිමවා ඉක්බිති අධිකරණ ශාස්ත්‍රය බෝධිසත්වයෝ පොත් බලා ලියවා මේ නියාවට අධිකරණ ඉදිරියේ විචාරවයි කියා නුවරවාසීන් එක්කරවා බොහෝ මනුෂ්‍යයන්ට අවවාද කියා බෝධිසත්වයන් හා මලනුවෝ බොහෝ මනුෂ්‍යයන් අඬ අඬා සිටියදී තමන්ගේ පළමුවිසූ වනාන්තරයට ගියහ. එසමයෙහි බරණැස් රජ්ජුරැවෝ නම් ආනන්ද තෙරැන්ය. චුල්ලතුඩිලයෝ නම් මරණභීරැක භික්ෂුවය. මහ තුඩිලව උපන්නේ බුදුරජාණන් වහන්සේය.

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද?

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද?

සාරාසැකි කල්ප ලක්ෂයක් පුරා සමතිස් පෙරුම්දම් සපුරා අපරිමිත පුණ්‍යානුභාවයෙන් යුතුව, දෙතිස් මහා පුරිස ලකුණින් සමලංකෘත පින් සිරුරක් දරා, සිද්ධාර්ථ ගෞතමයාණෝ ලුම්බිණි සාල වනයේදී පියුම් මතින් වැඩ සිහනද පතුරවමින් මෙලොව උපත ලද සේක. බුද්ධගයාවේ ජය ශ්‍රී මහා බෝධි මූලයේදී දස බිම්බර මරසෙන් පරදවා සව් කෙලෙසුන් නසා දසබල ඤාාණ, සිව් විසාරද ඤාාණ, නව අරහාදී සම්බුදු ගුණ සමුදායෙන් යුතු අනන්ත බුද්ධානුභාවයෙන් යුතුව ලොව්තුරා සම්මා සම්බුද්ධත්වයට පත් වී වදාළ සේක. බරණැස ඉසිපතන මිගදායේදී නිකෙලෙස් සම්බුදු හදමඩලින් පැන නැංගා වූ අසිරිමත් සිරි සදහම් දෙව් මිනිස් ලෝකයාට දායාද කරමින් දහම් සක ප්‍රවර්තනය කළ සේක. පන්සාලිස් වසරක් පුරා සදහම් අමා වැස්සෙන් අපමණ සත්වයන්ගේ සිත් සතන් නිවා සනසා සම්බුදු කිස නිමවා කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවර්තන නම් සාල වන උද්‍යානයේදී අනුපාදිසේස පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේක.

සම්බුදු පහසින් සුපූජනීයත්වයට පත් වූ ඒ උත්තම පුණ්‍ය භූමීන් වැඳපුදාගෙන ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයින් පහන් සංවේග උපදවාගත යුතු බව මහා පරිනිර්වාණ සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාරා ඇත්තේ ය.

“ආනන්දයෙනි, සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින්, දැකිය යුතු, සංවේගයට පත් විය යුතු මේ සතර ස්ථානයන් ඇත්තේ ය.

‘මෙහි තථාගතයන් වහන්සේ උපන් සේක.’ යි ආනන්දයෙනි, සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් දැක්ක යුතු, සංවේගයට පත් විය යුතු ස්ථානයක් ඇත්තේ ය.
(ඉධ තථාගතෝ ජාතෝති ආනන්ද සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවේජනීයං ඨානං)

‘මෙහි තථාගතයන් වහන්සේ අනුත්තර වූ සම්මා සම්බෝධිය විශිෂ්ඨ ඥානයෙන් අවබෝධ කළ සේක.’ යි ආනන්දයෙනි, සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් දැක්ක යුතු, සංවේගයට පත් විය යුතු ස්ථානයක් ඇත්තේ ය.
(ඉධ තථාගතෝ අනුත්තරං සම්මා සම්බෝධිං අභිසම්බුද්ධෝති ආනන්ද සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවේජනීයං ඨානං)

‘මෙහි තථාගතයන් වහන්සේ අනුත්තර වූ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන ලද්දේ ය’ යි ආනන්දයෙනි, සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් දැක්ක යුතු, සංවේගයට පත් විය යුතු ස්ථානයක් ඇත්තේ ය.
(ඉධ තථාගතේන අනුත්තරං ධම්මචක්කං පවත්තිතන්ති ආනන්ද සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවේජනීයං ඨානං)

‘මෙහි තථාගතයන් වහන්සේ අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑ සේක.’ යි ආනන්දයෙනි, සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් දැක්ක යුතු, සංවේගයට පත් විය යුතු ස්ථානයක් ඇත්තේ ය.
(ඉධ තථාගතෝ අනුපාදිසේසාය නිබ්බාන ධාතුයා පරිනිබ්බුතෝති ආනන්ද සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවේජනීයං ඨානං)

ආනන්දයෙනි, සැදැහැවත් භික්ෂූහු, භික්ෂුණීහු, උපාසකවරු, උපාසිකාවෝ, ‘මෙහි තථාගතයන් වහන්සේ උපන් සේක’ කියාත්, ‘මෙහි තථාගතයන් වහන්සේ අනුත්තර වූ සම්මා සම්බෝධිය විශිෂ්ට ඥානයෙන් අවබෝධ කළ සේක.’ කියාත්, ‘මෙහි තථාගතයන් වහන්සේ විසින් අනුත්තර වූ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන ලද්දේ ය’ කියාත්, ‘මෙහි තථාගතයන් වහන්සේ අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑ සේක’ කියාත් පැමිණෙන්නාහු ය. ආනන්දයෙනි, යම්කිසි කෙනෙක් චෛත්‍යය වන්දනා චාරිකාවේ සැදැහැ සිතින් යෙදී සිටියදී පහන් සිතින් කළුරිය කරන්නාහු ද ඒ සියල්ලෝ ම සුගති සංඛ්‍යාත දිව්‍ය ලෝකයෙහි උපදින්නාහු ය.”

මේ සියලු අසිරිමත් සංසිද්ධීන් සිදුවූයේ ජම්බුදීප නම් වූ ඉන්දියාවේ ය. එනමුත් වර්තමානයේදී ඉතිහාසයේ කිසි දිනෙක නො වූ විරූ අයුරින් විකෘති අර්ථකථන දෙමින් සම්බුද්ධ භූමිය වූ දඹදිව් තලයට ගරහමින් සැදැහැති බොදුනුවන් නොමග යවමින් බොහෝ අකුසල් රැස්කර ගන්නා පිරිසක් බෞද්ධයන් නාමයෙන් ම බිහිව සිටීම ජාතියේ මහත් අභාග්‍යයකි. ශාසන පරිහානියකි. සම්බුද්ධ දේශනාවන්ට විකෘති අර්ථකථන දෙමින් සත්‍ය වූ ඓතිහාසික ශාසනික සංසිද්ධීන් බැහැර කරමින් ඔවුන් මේ සිදුකර ගන්නේ ආර්ය උපවාද නම් බරපතල අකුසල කර්මය බව නොවැටහීම ඔවුන්ගේ ම අවාසනාවකි. මේ වනාහි “පින්වත් කස්සප, මාගේ බුදු සසුන විනාශ කරන අය බිහි වන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වණක් පිරිස තුළින් ම යි” යන සම්බුදු වදන්වල සත්‍යතාවය තහවුරු වීමයි.

එම නිසා ජම්බුදීප යන පාලි වචනය ජන් + බුද් + දීප යනුවෙන් ව්‍යඤ්ජනය ද විකෘති කොට, බුදුන් උපන් දීපය යනුවෙන් අර්ථය ද විපරීත කොට, බුදුරජාණන් වහන්සේ උපන්නේ ලංකාවේ යැයි කියමින් සිදුකරන ශාසන විලෝපනයට සැදැහැති බුද්ධිමත් ජනතාව කිසිසේත් මුළා නො විය යුතු ය. ජම්බුදීපය යනු දෙව් මිනිසුන්ගේ ශාස්තෘ වූ ගෞතම බුදුරජාණන් වහන්සේ උපන්, වැඩ සිටි, පිරිනිවන් පා වදාළ දඹදිව් තලය යි. සියලු බුදු, පසේබුදුවරු, සක්විති රජවරු පහළවන උත්තම දේශය යි.

එබැවින් සම්බුද්ධ දේශනාවන් තුළින් ම ත්‍රිපිටකයේ සඳහන් භාග්‍යවතුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයත්, පනවා වදාළ උතුම් විනය ප්‍රඥප්තීනුත් ඇසුරු කරගෙන අපි නිවැරදි නිගමනයන්ට එළැඹීම ඉතා වැදගත් ය. ‘බුදුරජාණන් වහන්සේ ඉපදුණේ, වැඩ සිටියේ, දහම් දෙසුවේ ලංකාවේ දී ය’ යන මතය කෙතරම් හරසුන්, අශාසනික, අසත්‍යය කරුණක්දැයි කියා එවිට සම්බුදු වදන් තුළින් ම පැහැදිලි වන්නේ ය. “මාගේ ශ්‍රාවකයින් ධර්මධර, විනයධර, ව්‍යක්ත, ප්‍රතිබල, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි යෙදෙන පිරිසක් වී, උපදින්නා වූ අශාසනික වැරදි මතවාද, ධර්ම විනය ඉස්මතු කොට මැඩ පැවැත්විය යුතුයි.” යන ශාස්තෘන් වහන්සේගේ අනුශාසනාව සිදු කළා වන්නේ ද එවිට ය.