by Danesh Edirisooriya | Aug 7, 2019 | ජාතක කතා
අදටත් සමහර උදවිය තමන්ගේ කටයුතු සාර්ථක වෙන්න කියල දෙවියන්ට භාරහාර වෙනවා. දේවදාන දෙනවා. ඇතැම් ආගම්වල අදටත් භාර ඔප්පු කිරීම පිණිස සතුන් මරා බිලි දෙනවා. ඒ මැරූ සතුන්ගේ මස් උයා දානෙ දෙනවා. බුද්ධකාලෙත් දඹදිව ඔය සිරිත තිබුනා.
ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනයේ වාසය කළේ. ඇතැම් වෙළඳ පිරිස් වෙළඳාම් පිණිස ඈත පළාතකට යන්න සූදානම් වෙද්දි ගමනට කලින් දෙවියන් උදෙසා බාරයක් වෙනවා. ඒ වෙනුවෙන් ඔවුන් ඒ ඒ දේවාලයට ගොහින් එළුවන් බැටළුවන් මරනවා. තමන් ගේ වෙළඳාම් කරගෙන කරදරයක් නැතුව ආපසු එන්න ලැබුනොත් ආයෙමත් මෙවැනි බිලි පූජාවක් කරනවා කියලා දෙවියන්ට පොරොන්දු වෙනවා. ඊට පස්සෙ වෙළඳාමට පිටත් වෙනවා. ඔවුන්ට කරදරයක් නැතිව වෙළහෙළඳාමත් සරුවට කරගෙන ආපසු එන්ට ලැබුනොත් හිතන්නේ දේවානුභාවයෙන් හැමදෙයක් ම හොඳින් සිදුවුන බවයි. ඒ නිසා බාරය ඔප්පු කිරීම පිණිස බිලිපූජාව ඉෂ්ට කරනවා.
by Danesh Edirisooriya | Aug 7, 2019 | ජාතක කතා
වගකීම් හැමෝටම දරන්ට බෑ. ඕනෑම වගකීමක් දරන්ට පුළුවන් අය ඉන්නවා. අපගේ භාග්‍යවතුන් වහන්සේ අන්න එබඳු උත්තමයෙක්. දවසක් අපගේ භාග්‍යවතුන් වහන්සේ අසවල් දවසේ ගණ්ඩබ්බ වෘක්ෂ මූලයේදී ප්රාතිහාර්යය පානවා කියා ප්‍රසිද්ධියේ ප්‍රතිඥා දුන්නා. එතකොට ඒ කාලේ ශාස්තෘවරු හැටියට ප්‍රසිද්ධව සිටි ෂඞ් ශාස්තෘවරු අපිත් ප්රාතිහාර්යය පාන්ට දන්නවා නොවැ කියලා ඉදිරිපත් වුනා. කිසිවක් කරගන්නට බැරිව පසුබා ගොහින් සැඟවුනා. අපගේ භාග්‍යවතුන් වහන්සේ යමක මහා ප්රාතිහාර්යය දක්වා දෙව්ලොවට වැඩියා. දෙව්ලොව වස් වැසුවා. වස් පවාරණයෙන් පස්සේ සංකස්සට වැඩම කොට මහා පිරිවර සහිතව ජේතවනයට වැඩියා.
දම්සභා මණ්ඩපයේ රැස්වූ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේගේ මේ ආශ්චර්යය ගැන කථා කරමින් සිටියා. එතැනට වැඩිය භාග්‍යවතුන් වහන්සේ තමන් පෙර තිරිසන්ගත අවස්ථාවේ පවා ඉතා බලවත්ව වගකීම් දැරූ බව වදාළා. ඒ භික්ෂූන් වහන්සේලාගේ ඉල්ලීම මත භාග්‍යවතුන් වහන්සේ මේ ජාතකය වදාළා.
“පින්වත් මහණෙනි, ගොඩාක් ඉස්සර කාලෙක බරණැස් පුරේ බ්‍රහ්මදත්ත නමින් රජ්ජුරු කෙනෙක් වාසය කළා. ඒ කාලේ බෝධිසත්වයෝ ගව යෝනියෙහි ඉපිද සිටියා. මේ ගවයා පැටියා කාලේ එක්තරා මැහැලියකගේ ගෙදර නැවැත්තුවා. හැදූ වැඩූ කුලිය ගෙවාගන්ට බැරිවීමෙන් ඒ මැහැලියට ම වහු පැටියා සින්න වුනා. මේ ආච්චි සිය ගව පැටියාට මහත් ආදරයෙන් යුක්තයි. තමන්ගේ දරුවෙකුට වගේ කන්ට බොන්ට දී ඇතිදැඩි කළා. මේ ගවයා තද කළු පාටයි. මේ නිසා ‘ආච්චිගේ කලුවා’ කියා මේ ගවයා ප්‍රසිද්ධ වුනා. තරුණ වයසට පත්වෙද්දි මොහු මහා උස මහතකින් යුතු වෘෂභ රාජයෙකුගේ පෙනුම ඇති මහා ගවයෙක් වුනා. අනිත් ගවයන් එක්ක මොහු ඇවිදින්ට යනවා. නමුත් කිසි කලබලයක් නෑ. හරිම ශීලාචාරයි. කාටවත් හිංසා පීඩාවක් කරන්නේ නෑ. හැමෝම මේ ගවයාට ආදරෙයි. ගමේ කොලු ගැටව් මේ ගවයාගේ අං දෙකෙන් එල්ලෙනවා. කන් දෙකෙනුත් එල්ලෙනවා. බෙල්ලෙනුත් එල්ලෙනවා. පිටේ නගිනවා. වලිගයෙන් අදිනවා. කොලු ගැටවුන්ට ඕනෑ දෙයක් කරන්ට ඇරලා ආච්චිගේ කලුවා පාඩුවේ ඉන්නවා.
by Danesh Edirisooriya | Aug 7, 2019 | ජාතක කතා
පින්වතුනේ, පින්වත් දරුවනේ, ජීවිතයේ බොහෝ ආරවුල්, අර්බුද, ගැටළු හටගන්නේ ඉන්ද්රියයන් අසංවර වීමෙනුයි. ඉන්ද්රිය සංවර නොකර ගැනීමෙන් පැවිදි ජීවිතය පවා අසාර්ථක වෙනවා.
එක්තරා කාලයක අපගේ භාග්‍යවතුන් වහන්සේ සුම්භ නමැති රටෙහි සේතක නම් නියම්ගම ඇසුරු කොට වනාන්තරයක වැඩ වාසය කළා. එහි දී භාග්‍යවතුන් වහන්සේ කායානුපස්සනා භාවනාවෙන් භික්ෂූන් වහන්සේලා කටයුතු කළ යුතු ආකාරය මෙසේ වදාළා.
“මහණෙනි, ජනපද කල්‍යාණිය කියන්නේ ඉතාමත් ම රූප සම්පත්තියෙන් යුතු තැනැත්තියක්. ඈ නටන්ටත් ඉතාම දක්ෂයි. ගී ගයන්ටත් ඒ වගේ ම හපනියක්. නගරය මැද ඇගේ නැටුම් සංදර්ශනයක් තිබුනා. ඈ ගී ගයමින් නටනවා බලන්ට මහජනයා පොරකකා රැස් වුණා.
ඔය අතරේ රජ කෙනෙක් බන්ධනාගාරයෙන් පුරුෂයෙකුව එළියට කැඳෙව්වා. ඔහු අතට කට මට්ටමට පුරවාපු තෙල් පාත්‍රයක් දුන්නා. මෙහෙම කිව්වා. ‘එම්බල පුරුෂය, ඔය තෙල් පාත්‍රය හොඳට දෑතින් අල්ලා ගනින්. තෝ දැන් ජනපද කල්‍යාණි ගී ගයමින් නැටුම් දක්වන සංදර්ශන භූමියේ ඈ ඉදිරියෙන් සෙනඟ මැදින් යන්ට ඕනෑ. තෝ පිටුපසින් කඩුවක් ඔසොවා ගත් පුරුෂයෙක් එනවා. හැබැයි තෝ පාත්තරෙන් එක තෙල් බිංදුවක් හරි බිම වැට්ටුවොත් එතැන දී ම තොගේ හිස ගසා දමනවා.’
එතකොට මහණෙනි, ජීවත් වීමට ආසා කරන, මැරෙන්ට අකැමැති ඒ පුරුෂයා මොහොතකටවත් අසිහියෙන් ජනපද කල්‍යාණි දිහා බලන්නේ නැතුව ඉතාම කල්පනාකාරීව එතැනින් යනවා.
මහණෙනි, තෙල් පාත්‍රය කියන්නේ කායානුපස්සනා භාවනාවට යි. රජ්ජුරුවෝ කියන්නේ තමන්ගේ කර්මයට යි. කඩුව ඔසොවා ගත් පුරුෂයා කියන්නේ මාරයාට යි. ජනපද කල්‍යාණිය කියන්නේ පංච කාමයට යි. ඒ නිසා මහණෙනි, තෙල් පාත්‍රය අතට ගත් පුරුෂයා වගේ මනා සිහියෙන් යුක්තව කායානුපස්සනාවෙන් අප්‍රමාදීව ඉන්ට ඕනෑ.” එතකොට භික්ෂූන් වහන්සේලා මෙහෙම කිව්වා. “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ජනපද කල්‍යාණිය දෙස නොබලා ඒ පුරුෂයා තෙල් පාත්‍රය රැගෙන යාමෙන් කරන්නේ ඉතාම දුෂ්කර දෙයක්.”
by Danesh Edirisooriya | Aug 7, 2019 | ජාතක කතා
කෑමට ඇති අධික ලොල් බව නිසා බොහෝ දෙනෙක් ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා. අඩු ආයුෂයෙන් මැරෙන අවස්ථා තියෙනවා. සමහරුන් සොරකමට පෙළඹෙනවා. හොරෙන් කනවා. අධික ලොල් බව හේතුවෙන් මෙවැනි බොහෝ කරදරවලට බඳුන් වෙනවා. මෙයත් එබඳු කථාවක්.
අපගේ භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනයේ වැඩසිටින කාලයේ ආහාරයට අධික ලොල් බවින් යුතු භික්ෂුවක් සිටියා. මොහුගේ මේ අසාමාන්‍ය වූ ගිජුකම කැපී පෙනුනා. එතකොට භික්ෂූන් වහන්සේලා මොහුව භාග්‍යවතුන් වහන්සේ ළඟට කැඳවාගෙන ගියා. මේ භික්ෂුව ආහාරයට දක්වන දැඩි ගිජුකම ගැන සැල කළා. භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂුවගෙන් ඒ බව ඇසුවා.
“හැබෑ ද භික්ෂුව ඔබ ඔය කියන තරම් ම ආහාරයට ගිජු ද…? භික්ෂුව… ඔබ පෙර ආත්මෙකත් ඔහොම තමයි. ආහාරයට අධික ගිජුකම නිසා මරණයට පත්වෙන්ට සිදු වුණා…. නුවණැත්තා නිසා තමන්ට ඉන්ට ලැබුණු තැනත් නැති වුණා.”
එතකොට භික්ෂූන් වහන්සේලා ඒ භික්ෂුවගේ අතීත කථාව අසන්ට කැමති වුණා. එය කියාදෙන මෙන් භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. භාග්‍යවතුන් වහන්සේ මේ ජාතකය වදාළා.
“පින්වත් මහණෙනි, ගොඩාක් ඉස්සර කාලෙක බරණැස් පුරයේ බ්‍රහ්මදත්ත නම් නමින් රජ්ජුරු කෙනෙක් වාසය කළා. ඒ කාලේ බෝධිසත්වයන් පරෙවි යෝනියේ උපන්නා. ඒ දවස්වල බරණැස් නුවර මිනිස්සු පින් සලකාගෙන තැන් තැන්වල දහයියා පුරවපු කූඩු හදලා කුරුල්ලන් උදෙසා එල්ලුවා. බරණැස් සිටුවරයාගේ අරක්කැමියාත් තමන්ගේ කුස්සියේ දහයියා දමාපු කූඩුවක් එල්ලලා තිබ්බා. බෝසත් පරෙවියා එතැනයි වාසය කළේ. පරෙවියා උදෙන් ම ගොදුරු සොයාගන්ට පිටත් වෙනවා. සවස් වෙද්දී කූඩුවට එනවා.
එක දවසක් කපුටෙක් ඔය කුස්සිය ළඟින් ඉගිල යද්දී පිසින ලද මස් මාංශවල සුවඳ දැනුනා. ඒ ගැන දැඩි ආශාවක් හටගත්තා. ළඟ ම අත්තක වැසුවා.
“ම්… හොඳ මනාප සුවඳක් නොවැ… මාත් මොකා…ක් හරි උපායකින් මස් මාංශ කන්ට ඕනෑ…” කියලා හිතමින් ඉන්නකොට ඒ සවස් යාමේ බෝසත් පරෙවියා කුස්සිය ඇතුළට පියඹා යනවා දැක්කා. පහුවදා පරෙවියා ගොදුරු පිණිස කුස්සියෙන් පිටතට පියඹා ගියා. එතකොට කපුටත් පරෙවියා පස්සෙන් පියාඹන්ට පටන් ගත්තා.
“හා… හා… කපුටෝ… මේ මොකෝ…? මොකෝ… මගේ පස්සෙන් එන්නේ….”
“අනේ.. ස්වාමී… නුඹවහන්සේගේ ක්‍රියාකලාපය ගැන මං ගොඩාක් පැහැදුනා. මං කැමතියි තමුන්නාන්සේට උවටැන් කරන්ට.”
“මිත්‍රය… ඔබ ගොදුරට ගන්නේ වෙන දේවල්… මං ගොදුරට ගන්නේ වෙන දේවල්… ඒ නිසා ඔය උපස්ථාන හරියන්නේ නෑ…”
“අනේ ස්වාමී…. නුඹ වහන්සේ ගොදුරු සොයා යද්දී මාත් මගේ ගොදුරු සොයාගෙන යන්නම්. ඊට පස්සේ නුඹ වහන්සේ සමඟ ම යන්නම්.”
“හොඳයි… එහෙනම් අප්රමාදී ව කටයුතු කරන්ට” කියලා පරෙවියා ගොදුරු සොයාගෙන ගිහින් බීජ වර්ග අනුභව කළා. කපුටා වෙනම ගිහින් ලොකු ගොම පිඬක් ඩැගැගත්තා. එහි පිරී සිටිය පණුවන් කා කුස පුරවා ගත්තා. කපුටා බෝසත් පරෙවියා ළඟට ඇවිත් අවවාද කරන්ට පටන් ගත්තා.
“ස්වාමී…. ආහාර හොයන්ට ගොහින් සෑහෙන වෙලාවක් ගියා නොවැ…. ඔහොම ගොඩාක් කන එක තමුන්නාන්සේට හොඳ නෑ…” කියලා පරෙවියා කුස්සිය ඇතුළට පියඹා යද්දී කපුටත් ඒ පස්සෙන් ම ගියා. අරක්කැමියා මේක දැක්කා.
“හා… හා…. අපේ පරෙවියාට යාළුවෙක් ලැබිලා වගෙයි” කියලා කපුටා වෙනුවෙනුත් කූඩුවක් එල්ලුවා. එදා පටන් දෙන්නාම කුස්සියේ වාසය කළා.
දවසක් සිටුතුමාට බොහෝ මස් මාංශ ලැබුණා. එදා අරක්කැමියා කුස්සියේ තැන් තැන්වල ඒවා එල්ලුවා. කපුටාට මස් දැකලා ඉවසුම් නෑ…